මහ ලේකම්, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය
අදත් ඒ ආකාරයෙන්ම දැවැන්ත මුදලක් පළාත් සභා වෙනුවෙන් වැය කරනවා. මේක මම කියන කාරණයක් නෙමෙයි, එවකට මුදල් කොමිසමේ ලේකම්වරයා මේ බව පැහැදිලිව කියා තිබෙනවා. ඒ අනුව අපට පැහැදිලියි පළාත් සභාවල මහජන නියෝජිතයින්ගේ පාලනයක් ක්‍රියාත්මක නොවුණත් නිලධාරී පාලනය තුළ කිසිම අඩුවක් නැතිව මුදල් වියදම් කරනවා. මිනිස්සු හිතාගෙන ඇති පළාත් සභා නැති තත්ත්වයක් තුළ ඒ මුදල් ඉතිරි වෙලා කියලා. නමුත් ඒක එසේ වෙලා නැහැ
- පළාත් සභා කියන්නේ සුදු අලියෙක් කියලා බරපතළ චෝදනාවක් තිබෙනවා. ඔබ මේ චෝදනාව ගැන දරන ස්ථාවරය කුමක් ද ?
දේශපාලන අරමුණු පෙරදැරි කරගෙන ඉතාම පටු අරමුණින්, පටු පරමාර්ථවලින් සමාජගත කළ ප්‍රබල මතයක් තමයි පළාත් සභා කියන්නේ ‘සුදු අලියෙක්’ කියන මතය. මේක සරල මතයක් නෙමෙයි, මේක සමාජය තුළට ගැඹුරින් කා වද්දන ලද මතයක්.
- බලය විමධ්‍යගත කිරීමේ ඒකකයක් ලෙස පළාත් සභා ක්‍රමය මෙරට දමිළ ජනතාවගේ පිළිගැනීමට ලක් වුණා ද ?
මුලින්ම කියන්න ඕනෑ, පළාත් සභා ක්‍රමයට විරුද්ධ වුණේ එල්ටීටීඊ සංවිධානය ප්රමුඛ මේ රටේ හිටිය අන්තවාදී දේශපාලන ප්‍රවාහය. එල්ටීටීඊ සංවිධානය කවදාවත් පළාත් සභා ක්‍රමය පිළිගත්තේ නැහැ. ඇයි ඔවුන් පළාත් සභා ක්‍රමය පිළිනොගත්තේ?, එල්ටීටීඊ සංවිධානය පළාත් සභා ක්‍රමය පිළිනොගත්තේ ඒක ඇතුළේ වෙනම රටක් නිර්මාණය නොවන නිසා. ඒක ඇතුළේ මේ රටේ ඒකීයභාවයට හානියක් නොවන නිසා. එවැනි තත්ත්වයක් තුළ තමයි එල්ටීටීඊ සංවිධානය පළාත් සභා ක්‍රමය පිළිනොගත්තේ. මේක තුළින් වෙනම රාජ්‍යයක් බිහිකර ගන්න පුළුවන් කියලා එල්ටීටීඊ සංවිධානය දැක්කා නම්, මේ තුළින් අපට වෙනම ආයතන පද්ධතියක් ගොඩනගන්න පුළුවන් කියලා එල්ටීටීඊ සංවිධානය දක්කා නම් ඔවුන් ඒක පැනලා බදා ගන්නවා. එල්ටීටීඊ සංවිධානය පළාත් සභා ප්‍රතික්ෂේප කිරීම කියන්නේ ම මේ රට තව දුරටත් එක රටක්, ඒකීය රාජ්‍යයක්, මධ්‍යගත පාලනයකින් මූලික ප්‍රතිපත්ති තීරණය කරන රටක් ලෙස පවතිනවා කියන එක.
දෙවැනි කාරණය තමයි වර්ධරාජා පෙරුමාල් නැගෙනහිර පළාත් සභාව වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කළේ ඉන්දියානු සාම සාධක හමුදා රැකවරණය යටතේ සිටිමින්. නමුත් ඉන්දියානු ආණ්ඩුව පවා මේ තීරණයට අනුග්‍රහය දැක් වූවේ නැහැ. ඉන්දියාව එවැනි අනුග්‍රහයක් නොදැක් වූ නිසා තමයි වර්ධරාජා පෙරුමාල්ට රටින් පළා යාමට සිදු වුණේ. කලාපීය වෙනත් රටවල් පවා මේ සීමාවෙන් එපිටට හිතන්නේ නැහැ. ඔවුන් හිතන්නේ බලය විමධ්‍යගත කිරීමක් අවශ්‍යයි කියලා. ඒ බලය විමධ්‍යගතකරණය තුළ ශ්‍රී ලංකාවේ ඒකීයභාවයට, භෞමික අඛණ්ඩතාවයට හෝ ස්වාධිපත්‍යයට කිසිම හානියක් නොවිය යුතුයි කියන ස්ථාවරයේ ඔවුන් සිටිනවා.
මෙහි දී ශ්‍රාවකයෙකු විසින් කළ කරුණු පැහැදිලි කිරීමකට ප්‍රතිචාර දක්වමින් සුනිල් ජයසේකර මහතා මෙසේ ද පැවසුවේය.
බලය විමධ්‍යගතකරණය කියන්නේ රටක් බෙදන්න නෙමෙයි, රටක් ඒකාග්ර කරන්න ගන්නා වූ පියවරක් බව තමයි ලෝක ඉතිහාසයම පෙන්වා දී තිබෙන්නේ. ලෝකේ කිසිම රටක් බලය විමධ්‍යගතකරණය නිසා වෙන් වෙලා, කැබලි වෙලා නැහැ. බලය විමධ්‍යගතකරණය නොකිරීම නිසා වෙන් වූ රටවල් ගැන ඕනෑ තරම් උදාහරණ තියෙන්න පුළුවන්.
අනෙක් කාරණය තමයි බලය විමධ්‍යගතකරණය කළ යුත්තේ විශාල රටවල් වලට පමණක් කියන අදහසත් ඒ තරම් නිවැරදි නැහැ. උදාහරණයක් ලෙස ගත්තොත් ස්විස්ටර්ලන්තය කියන්නේ ලංකාවට සාපේක්ෂව කුඩා රටක්. නමුත් ස්විස්ටර්ලන්තය කියන්නේ පෙඩරල් රාජ්‍යයක්. ඒ නිසා රටක් කුඩා වීම හෝ විශාල වීම කියන කාරණා මත නෙමෙයි බලය විමධ්‍යගතකරණය කරන්නේ.
ඒ වගේම තමයි පළාත් සභා ක්‍රමය ශක්තිමත් වුණොත් ආගමික සහ ජාතීන් වශයෙන් ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් කියලා අදහසක් ඉදිරිපත් වුණා. නමුත් ලංකාවේ එවැනි ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ එවැනි ආයතනවලින් නෙමෙයි. පටු දේශපාලන සහ අන්තවාදී, උම්මත්තක කණ්ඩායම්වල බලපෑමෙන් තමයි එවැනි ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. බලය විමධ්‍යගත කළත්, නැතත් මෙවැනි කණ්ඩායම් බිහි වෙන්න පුළුවන්. නමුත් මේ කිසිම කණ්ඩායමක් ලංකාව තුළ සාර්ථක වෙලා නැහැ. ඒ අන්තවාදී සෑම කණ්ඩායමක්ම ඉතිහාසය තුළ අසාර්ථක වෙලා තිබෙනවා. එනිසා අපි ඔවුන් පිළිබඳව බියක් ඇතිකර ගත යුතු නැහැ. අපි විශ්වාස කරන ආකාරයට පළාත් සභා ක්‍රමය යටතේ මේ රටේ සංවර්ධනයට විශාල දායකත්වයක් ලබා දෙන්න පුළුවන් කියන එකට හොඳම උදාහරණය වයඹ පළාත් සභාව. ගාමිණි ජයවික්‍රම මහතා මහ ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ කාලයේ ලංකාවේ තිබුණ ආදර්ශමත්ම පළාත් සභාව තමයි වයඹ පළාත් සභාව.
ඒ වගේම අපි අමතක නොකළ යුතුයි, පළාත් සභා 09න් 07ක්ම සිංහල බෞද්ධ බහුතරයක් ජීවත් වන පළාත්වලයි ක්‍රියාත්මක වුණේ. මේ රටේ ප්‍රධාන ධාරාවේ සෑම දේශපාලන පක්ෂයක්ම මේ පළාත් සභා පාලනය කළා. නමුත් ඒ කිසිම මහ ඇමැතිවරයෙක් කියන්නේ නැහැ පළාත් සභා අහෝසි කරන්න කියලා. මොකද ඔවුන් දන්නවා පළාත් සභාවෙන් මහජනතාවට කොතරම් විශාල සේවයක් කරන්න පුළුවන් ද කියලා. ඒ නිසා මම යළි අවධාරණය කරන්නේ පළාත් සභා හේතුවෙන් කිසිසේත්ම රට බෙදෙන්නේ නැහැ.
- පළාත් සභා සුදුසු අලියෙක් කියන එක ජනප්‍රිය විවේචනයක් නේද ?
පළාත් සභා සුදු අලියෙක් කියන චෝදනාව දිගින් දිගටම, වඩාත් ප්‍රබල ලෙස එල්ල වන බරපතළ විවේචනයක්, චෝදනාවක්. මේක දීර්ඝ කාලයක් පුරා දැඩිව සමාජය තුළ තහවුරු කළ මතයක්. එකම කතාව දිගින් දිගට කියනවා නම් ඒක පොදුජන විඥානයට කාවදිනවා. ඒක සාමාන්‍ය ස්වභාවයක්. ඒ වැරදි මතය වෙනස් කිරීම තමයි මේ රටේ සබුද්ධික සමාජයේ වගකීම, වගකීමක් සහිත දේශපාලන ව්‍යාපාරවල වගකීම, රටේ අනාගතය ගැන මීට වඩා සබුද්ධික ලෙස කටයුතු කරන දේශපාලන කණ්ඩායම්වල වගකීම.
- පළාත් සභා සුදු අලියෙක් නොවන්නේ කුමක් නිසා කියල ද ඔබ කියන්නේ ?
මම පැහැදිලි කරන්නම් පළාත් සභා සුදු අලියෙක් නොවෙන්නේ ඇයි කියලා. 2012ට කලින් පළාත් සභා සක්‍රීයව තිබුණා. (අන්තිම පළාත් සභාව සක්‍රියව තිබුණේ 2014 දක්වා) පළාත් සභා අක්‍රිය වුණාට පස්සේ වියදම්වල අඩුවක් වුණා ද? නැහැ, අදත් පළාත් සභාවට පෙරට වඩා වැඩි මුදලක් වෙන් කරනවා. උදාහරණයක් විදිහට 2009 පළාත් සභාවලට වෙන් කළ මුදලට වඩා වැඩි මුදලක් පළාත් සභා සියල්ලම අක්‍රිය තත්ත්වයේ තිබුණ 2022 දී වැය කරනවා, රුපියල් කෝටි 14,136ක මුදලක් වැඩිපුර වෙන් කරලා තිබෙනවා. අදත් තත්ත්වයේ වෙනසක් නැහැ, පළාත් සභා සියල්ල අක්‍රිය තත්ත්වයේ තිබුණත්, ඒවා සක්‍රීය පැවැති කාලයට වඩා වැඩි මුදලක් අදත් පළාත් සභා වෙනුවෙන් වැය කරනවා.
- ඔබ කියන්නේ මහජන නියෝජිතයින්ගෙන් තොර, ආණ්ඩුකාරවරුන්ගේ පාලනය යටතේ ක්‍රියාත්මක වන පළාත් සභා වෙනුවෙන් මෙතරම් මුදලක් වැය කරනවා කියල ද?
ඔව්, අදත් ඒ ආකාරයෙන්ම දැවැන්ත මුදලක් පළාත් සභා වෙනුවෙන් වැය කරනවා. මේක මම කියන කාරණයක් නෙමෙයි, එවකට මුදල් කොමිසමේ ලේකම්වරයා මේ බව පැහැදිලිව කියා තිබෙනවා. ඒ අනුව අපට පැහැදිලියි පළාත් සභාවල මහජන නියෝජිතයින්ගේ පාලනයක් ක්‍රියාත්මක නොවුණත් නිලධාරී පාලනය තුළ කිසිම අඩුවක් නැතිව මුදල් වියදම් කරනවා. මිනිස්සු හිතාගෙන ඇති පළාත් සභා නැති තත්ත්වයක් තුළ ඒ මුදල් ඉතිරි වෙලා කියලා. නමුත් ඒක එසේ වෙලා නැහැ.
ඒ වගේම තමයි මිනිස්සුන් අතර තවත් වැරදි මතයක් තිබෙනවා, ඔවුන් හිතනවා පළාත් සභා මන්ත්‍රීවරුන්ට, ඇමතිවරුන්ට සහ මහ ඇමතිවරුන්ට මහ විශාල මුදල් වියදම් කරනවා කියලා. නමුත් ඒක වැරදි මතයක්. මේ සියලුම ජනතා නියෝජිතයින් වෙනුවෙන් වියදම් කරලා තියෙන්නේ පළාත් සභා වෙනුවෙන් වියදම් කරන සමස්ත වියදමෙන් 1%කටත් වඩා අඩු මුදලක්, මම මේක ඉතාම වගකීමෙන් කියන්නේ. පළාත් සභාවල මහජන නියෝජිතයින් වෙනුවෙන් අති විශාල වියදමක් දරන්න වෙනවා කියන එක මේ රටේ සමාජ ගත කරලා තිබෙන ඉතාම නරක අදහසක්.
- පළාත් සභා හරහා දූෂණයන්, ගසා කෑම් වෙනවා කියන ප්‍රබල චෝදනාවක් තිබෙනවා නේද ?
ඒක තවත් වැරදි මතයක්. ප්‍රාදේශීය සභාවෙන් වුණත් ඒක වෙන්න පුළුවන්. ඒවා වළක්වා ගැනීම වෙනුවෙන් යාන්ත්‍රණ නිර්මාණය කළ යුතුයි. නමුත් වහාම පිටුදැකිය යුතු මතයක් තිබෙනවා, පළාත් සභා මහා පරිමාණ වශයෙන් මහජන මුදල් ගසා කනවා, අයථා පරිහරණය කරනවා කියන මතය ඇත්තක් නෙමෙයි, ඒක නෙමෙයි ඇත්ත. රටට, ජනතාවට පළාත් සභා සම්බන්ධ ඇත්තම තත්ත්වය පැහැදිලි කරදිය යුතුයි.
- පොදු චෝදනාවක් තිබෙනවා පළාත් සභා විසින් ක්‍රියාත්මක කළ බොහෝ සංවර්ධන ව්‍යාපෘති නතර වෙලා හෝ නිසි පරිදි පවත්වා ගෙන යන්නේ නැහැ කියලා. මේ ගැන ඔබේ අදහස කුමක් ද ?
මහජන නියෝජිතයෝ නැති නිසා පළාත් සභාව විසින් ක්‍රියාත්මක කළ සියලුම සංවර්ධන වැඩ අක්‍රීයභාවයට පත්වෙලා තිබෙනවා කියන එක පොදු විවේචනයක්. මහජන නියෝජිතයෝ හිටියා නම් ඔවුන්ට බලපෑම් කිරීමට, ඉල්ලීම් කිරීමට පුරවැසියන්ට හැකියාව තිබෙනවා. නමුත් අද තත්ත්වය වෙනස්, නිලධාරීන්ට බලපෑම් කිරීමට පුරවැසියන්ට හැකියාවක් හෝ ශක්තියක් නැහැ. අපි දන්නවා මේ වන විට පළාත් සභාවට අයත් මහා මාර්ග පමණක් නොවෙයි පාසල් පද්ධතිය පවා බරපතළ පරිහානියකට ලක්ව තිබෙනවා. මේ වෙනුවෙන් මැදිහත් වෙන්න, තීන්දු – තීරණ ගන්න අද මහජන නියෝජිතයෝ නැහැ, ඒ යාන්ත්‍රණය අක්‍රිය වෙලා ඉවරයි. ඒ විතරක් නෙවෙයි පළාත් සභා ක්‍රියාත්මක වුණත් නැතත්, මහජන නියෝජිතයෝ හිටියත් නැතත් පළාත් සභාවට අයත් අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම ආදි සියලුම රාජ්‍ය සේවා ක්‍රියාත්මක විය යුතුයි, ඔවුන්ට වැටුප් සහ දීමනා ලබා දිය යුතුයි, ප්‍රාග්ධන වියදම්, පුනරාවර්තන වියදම්, සුබසාධන වියදම් කළ යුතුයි. මේ පසුබිම තුළ පළාත් සභා වෙනුවෙන් දරන වියදම කිසිම ආකාරයකින් අඩු වී නැහැ වගේම අඩු කිරීමේ හැකියාවක් ද නැහැ. නමුත් මේ වියදම් දැරීමේ දී අවශ්‍ය මග පෙන්වීම කළ හැකි මහජන නියෝජිතයින් දැන් පළාත් සභාව තුළ නැහැ. ඒ නිසා අදාළ වියදම් නිසි පරිදි කළමනාකරණය වෙන්නේ නැහැ. ඒ නිසා එම මුදල් ඉහළ යන්න පුළුවන්. නමුත් මේ මුදල් සම්බන්ධ නිසි කළමනාකරණයක් සහ පාලනයක් පළාත් සභාව තුළ සිදුවෙන්නේ නැහැ. මේ තමයි ඛේදවාචකය.
- පළාත් සභා ක්‍රමය ලංකාවට හඳුන්වා දුන්නේ අපේ අවශ්‍යතාවට වඩා ඉන්දියාවේ බලපෑමට බව ප්‍රකට කාරණයක්. මේ පළාත් සභා නිසා රටට ලැබුණ දියුණුව කුමක් ද කියලා මිනිස්සු ප්‍රශ්න කරනවා නේද ?
ඉන්දියාවෙන් විශාල පීඩනයක් තිබුණා තමයි, නමුත් පළාත් සභා ක්‍රමය බලෙන් පැටෙව්වා කියලා කියන්න බැහැ. ඒ පීඩනය ඇති වෙන්න අවශ්‍ය පරිසරය සකස් කළේ ඉන්දියාව නෙමෙයි. මේක විශාල යුද්ධයක් දක්වා ගමන් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කළේ අපේ රටේ පාලකයෝ. මේ යුද්ධය ඉන්දියාව ඇතැම් අවස්ථාවල උපාය මාර්ගිකව යොදා ගත්තා කියන කතාව ඉතාම පැහැදිලියි. නමුත් එදා ඉන්දියාව ඒ සම්බන්ධයෙන් මැදිහත් නොවුණා නම් ඇතිවිය හැකිව තිබූ තත්ත්වය ගැන කාට ද නිසි විග්‍රහයක් තිබෙන්නේ ? පළාත් සභා ස්ථාපිත කිරීම හරහා අපි ලෝකයට පෙන්නුම් කළා මේ රටේ සුළුතර ජනතාවගේ ගැටලු සඳහා අවම විසඳුමක් හෝ ලබා දෙන්න සූදානම් කියලා. ඒ ප්‍රදර්ශනය කිරීම තුළ ලෝකය පිළිගත්තා මේ රට තුළ වෙනම රාජ්‍යයක් බිහි නොකළ යුතුයි කියලා. ඒකම සාධනීය තත්ත්වයක් නොවෙයි ද ?
දෙවැනි කාරණය තමයි, පළාත් සභා අපි මත බලෙන් පැටෙව්වා නම් ඇයි අපි අදත් ඒක නිවට ලෙස භාර ගන්නේ. පළාත් සභා හඳුන්වා දුන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක්. ඉතිං ඇයි ඒක අහෝසි නොකරන්නේ?, මේ ආණ්ඩුවට පුළුවන්නේ ඒක අහෝසි කරන්න. ඇයි අදත් ඒක නිවට ලෙස කර ගසා ගෙන යන්නේ.
අපි මේ රටේ යථාර්ථය තේරුම් ගත යුතුයි, පිළිගත යුතුයි. මේ රටේ මිනිස්සුන්ගේ අවශ්‍යතාව, මේ රටේ අනාගත සංවර්ධනය දෙස බැලිය යුතුයි. එසේ නොකොට පටු දේශපාලන අවශ්‍යතා, වාර්ගික අගතීන් මුල් කර ගෙන නෙමෙයි රටේ ප්‍රශ්න දිහා බැලිය යුත්තේ.
සටහන – තුෂාල් විතානගේ
















