SARP ව්‍යාපෘතිය හරහා සවිබල ගැන්වූ දෙමුහුන් මිරිස් වගාවෙන් ගොවීන්ට ඉහළ ආදායමක්

කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදල (IFAD) සහ කෘෂිකර්ම අමාත්‍යංශය එක්ව ක්‍රියාත්මක කරන කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය(SARP) යටතේ මෙම වැඩසටහන් සංවිධානය කරනු ලබයි.

ඒ් අනුව එක් ප්‍රතිලාභී ගොවි පවුලක් වෙනුවෙන් රුපියල් 150,000ක ආයෝජනයක් සිදු කෙරෙන අතර, ඔවුන්ගේ අක්කර කාලක වගා භූමියක් සඳහා MICH1 වර්ගයේ සහතික කරන ලද බීජ, ක්ෂුද්‍ර ජල සම්පාදන පද්ධති, වසුන් තාක්ෂණය (Poly Mulch), කෘමි ප්‍රතිරෝධී දැල් සහ පසු අස්වනු හානිය අවම කර ගැනීම සඳහා අවශ්‍ය කූඩ ආදී පහසුකම් ලබා දෙනු ලබයි. අනුරාධපුර, කුරුණෑගල, වවුනියාව, පුත්තලම සහ මන්නාරම යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින්, සමස්ත ගොවීන් 300කට පමණ මෙම ප්‍රතිලාභ සැලසීම සිදුකරනු ලබයි.

මෙම වැඩසටහනේ මූලික අරමුණ ව්‍යාපෘති බල ප්‍රදේශයේ කෘෂි නිෂ්පාදන පවුල් වල ආදායම ඉහළ නැංවීම සඳහා  ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව ඉතා ඉහළ අස්වැන්නක් ලබන MICH1 ප්‍රභේදය ගොවීන්ට හඳුන්වා දීම, ක්ෂුද්‍ර ජල සම්පාදන හා ජල සංරක්ෂණ ක්‍රම මගින් කාර්යක්ෂම ජල කළමනාකරණයක් සඳහා ගොවීන් යොමු කිරීම, යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) ගොවීන්ට හඳුන්වා දීම සහ පසු අස්වනු හානි අවම කිරීම වන අතර එමගින් අහිතකර බලපෑම් අවම කරමින් ගොවීන්ට අවශ්‍ය මාර්ගෝපදේශනය සැපයීම සිදුකරයි.

මෙම වගාවේදී කෘෂිකර්ම අමාත්‍යාංශය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු නිලධාරින් ලබා දුන් මඟපෙන්වීම නිවැරදිව ලබා ගැනීමත්, SARP ව්‍යාපෘතිය හරහා ලබා දුන් පහසුකම් නිසියාකාරව භාවිත කිරීමත් ඊට අමතරව නිවැරදි අස්වනු නෙළිමේ කාලය ඉලක්ක කරගනිමින් වගාවන් ආරම්භකිරීමත් යන යහපත් කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කිරීම හේතුවෙන් බොහෝ ගොවීන් ඉහළ ආදායමක් මේ වනවිට ලබාගනිමින් තිබේ.

මෙම  දෙමුහුන් මිරිස් ප්‍රභේදයේ විභව අස්වැන්න ලෙස අක්කර කාලක් සඳහා සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 2500 ක පමණ අස්වැන්නක් අපේක්ෂා කළ ද, ඇතැම් ගොවීන් එම සීමාවද ඉක්මවා කිලෝග්‍රෑම් 3500කට ආසන්න අස්වැන්නක් ලබා ගනිමින් රුපියල් මිලියන 2 කට අධික වාර්තාගත ආදායමක් ලබා ගැනීමට සමත් වී තිබේ.

ව්‍යාපෘතිය ආරම්භයේදී අපේක්ෂිත ආදායම් මිල රුපියල් 300 ක් පමණ වුවද, වගාවන් ආරම්භයේදී ම නිසිසැලසුම් සහිතව වගා කිරීම හේතුවෙන් අස්වනු නෙළීමේ කාලයේදී මිරිස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 600 ත් 1300 ත් අතර ඉහළ අගයක් ගැනීම හේතුවෙන්  ගොවීන්ට අපේක්ෂිත මිලට වඩා ඉහළ ආදායමක් උපයා ගැනීමට හැකියාව ලැබී ඇත.

දිවයිනට බලපෑ අහිතරකර කාලගුණික තත්ත්ව හමුවේ වුවද කාර්යක්ෂම ජල කළමනාකරණ තාක්ෂණය සහ රෝග මෙන්ම පළිබෝධ පාලන ක්‍රමවේද හේතුවෙන් ගොවීන්ට තම වගාවන් අඛණ්ඩව හා සාර්ථකව පවත්වාගෙන යාමට හැකි වීමද මෙහිදී සුවිශේෂී තත්ත්වයකි.

මෙම වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීමට කැමති ගොවි මහත්ම මහත්මීන් සහ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SARP) අමතා 011 2770986 දුරකථන අංකය ඔස්සේ වැඩිදුර තොරතුරු ලබාගත හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website