තොරතුරු රහිත ආනයනික ළදරු ඩයපර්ස් බෙදාහැරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ දෙහිවල සහ දෙමටගොඩ ආයතන දෙකකට අධිකරණය විසින් රුපියල් 110,000ක දඩයක් නියම කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අද (23) නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
එම නිවේදනය පහත දැක්වේ.
වෙළෙඳපොළේ අලෙවි වන ළදරු ඩයපර්ස් භාවිතයේදී ඉරීයාම හා දිරාපත්වීම සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගෙන් ලැබුණු පැමිණිලි මත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දීපව්‍යාප්තව ආරම්භ කළ විමර්ශන හා වැටලීම් වැඩසටහනේ තවත් අදියරක් ලෙස දෙහිවල සහ දෙමටගොඩ ප්‍රදේශවල ආනයනික ළදරු ඩයපර්ස් තොග බෙදාහරින ආයතන දෙකක් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත.
විමර්ශනවලදී අංක 85 දරන විධානයට අනුකූල නොවන ලෙස, ලියාපදිංචි ආනයනකරුගේ නම, ලිපිනය, දුරකථන අංකය හෝ වෙබ් අඩවි තොරතුරු සඳහන් නොකළ ආනයනික ළදරු ඩයපර්ස් තොග බෙදාහරිමින් තිබියදී අනාවරණය කරගෙන, අදාළ තොග නඩු භාණ්ඩ ලෙස භාරයට ගන්නා ලදී.
මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය (අංක 05) හමුවේ නඩු පවරන ලදී.
2026 සැප්තැම්බර් 23 දින අදාළ නඩු අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී චෝදනාවලට වරද පිළිගත් විත්තිකාර ආයතන දෙකට පහත පරිදි දඩ නියම කරන ලදී.
ග්ලෝබල් කොමඩිටි සොලූෂන් (ප්‍රයිවෙට්) ලිමිටඩ් (Global Commodity Solution (Pvt) Ltd) – කැම්බල් පෙදෙස, දෙහිවල — රු.100,000/-ක දඩයක්
හෝල්මාර්ක් ඉන්ඩස්ට්‍රි (Hallmark Industry) – කැටවලමුල්ල පෙදෙස, දෙමටගොඩ, කොළඹ 09 — රු.10,000/-ක දඩයක්
ආයතන දෙකට නියම වූ මුළු දඩ මුදල — රු.110,000/-
පාරිභෝගිකයිනි: ළදරුවන්ගේ සමට සෘජුව ස්පර්ශ වන ඩයපර්ස් වැනි සනීපාරක්ෂක නිෂ්පාදන මිලදී ගැනීමේදී ඇසුරුමේ ලියාපදිංචි ආනයනකරුගේ නම, ලිපිනය, දුරකථන අංකය හෝ වෙබ් අඩවි තොරතුරු සහ උපරිම සිල්ලර මිල (MRP) නිසි පරිදි සඳහන් කර තිබේදැයි පරීක්ෂා කරන්න.
වෙළෙඳුන් සහ බෙදාහරින්නන්: ආනයනික භාණ්ඩ ලබාගැනීමේදී නීතියෙන් අවශ්‍ය ලේබල් සහ ආනයනකරු පිළිබඳ තොරතුරු නිසි පරිදි සඳහන් කර තිබේදැයි පරීක්ෂා කරන්න. අදාළ නීතිමය අවශ්‍යතාවලට අනුකූල නොවන භාණ්ඩ බෙදාහැරීම හෝ අලෙවි කිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගත හැක.
වෙළෙඳපොළ අක්‍රමිකතා පිළිබඳ තොරතුරු කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන්න.
















