WhatsApp සහ Telegram මඟින් සිදුවන පොලිස් වෙස්ගත් මූල්‍ය වංචා ගැන පොලියෙන් දැනුම් දීමක්

උසස් පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප සහ අනන්‍යතාවයන් අවභාවිත කරමින්, ව්‍යාජ වට්ස්ඇප් (WhatsApp) සහ ටෙලිග්‍රෑම් (Telegram) ගිණුම් සකසා සිදුකරනු ලබන මූල්‍ය වංචාවන් සහ කප්පම් ගැනීම් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇත. මේ පිළිබඳව මහජනතාව දැඩි ලෙස අවධානයෙන් සහ විමසිල්ලෙන් සිටිය යුතුය.

වංචාකරුවන් ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වන්නේ උසස් පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප තමන්ගේ වට්ස්ඇප් හෝ ටෙලිග්‍රෑම් ගිණුම්වල ප්‍රදර්ශනය කරමින් තමන් සැබෑ පොලිස් නිලධාරීන් බව ඇඟවීමෙනි. ඉන්පසුව ඔවුන් විවිධ වැරදි හෝ චෝදනා පෙන්වා දෙමින් පුද්ගලයන් දැඩි ලෙස බියවැද්දීමට සහ තර්ජනය කිරීමට ලක් කරයි. එලෙස බියවැද්දීමෙන් පසු, අදාළ චෝදනාවලට එරෙහිව නීතිමය පියවර නොගෙන සිටීමට හෝ වෙනත් විවිධ හේතු දක්වමින් ඔවුන් කප්පම් මුදල් සහ මූල්‍ය පරිත්‍යාග ඉල්ලා සිටීම සිදුකරයි.

පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් දුරකථන ඇමතුම්, වට්ස්ඇප් හෝ ටෙලිග්‍රෑම් පණිවිඩ මඟින් මුදල් ඉල්ලා සිටින කිසිදු පුද්ගලයෙකුට කිසිදු හේතුවක් මත මුදල් ලබාදීමෙන් වළකින්න. ශ්‍රී ලංකා පොලිසිය කිසිදු විටෙක සමාජ මාධ්‍ය ජාලා හෝ පෞද්ගලික ගිණුම් හරහා මහජනතාව සමඟ මුදල් ගනුදෙනු සිදු නොකරන බව වටහා ගැනීම ඉතා වැදගත් වේ.

මෙවැනි සිදුවීමකට ඔබ මුහුණ දුනහොත්, කිසිදු ප්‍රමාදයකින් තොරව වහාම ක්‍රියාත්මක වී ඔබේ ප්‍රදේශයේ ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත ගොස් ඒ පිළිබඳව දැනුම් දීමට කටයුතු කරන්න. එමෙන්ම, අදාළ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා (OIC) පෞද්ගලිකව හමුවී හෝ දුරකථනයෙන් සම්බන්ධ කරගෙන මෙම වංචාව පිළිබඳව වහාම දැනුවත් කිරීමට පියවර ගන්න.

ඔබේ සුළු නොසැලකිලිමත්කම වංචාකරුවන්ට මහඟු අවස්ථාවක් විය හැකිය. එබැවින් මෙවැනි අවස්ථාවලදී අනවශ්‍ය ලෙස බිය නොවී, බුද්ධිමත්ව ක්‍රියා කර වංචාකරුවන් නීතියේ රැහැනට හසුකර දීමට සහාය වන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website