ඩුබායි සිට රැගෙන ආ සැකකරුවන් 21 දෙනා ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කළ සම්පූර්ණ හෙළිදරව්ව

ඩුබායි සිට පිටුවහල් කරන ලද පුද්ගලයින් 21 දෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද (22) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද කොළඹ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙළි කළේය.

මෙම කණ්ඩායම දීර්ඝ කාලයක් විදේශයන්හි ජීවත් වෙමින් සිටියදී ශ්‍රී ලංකාව තුළ සංවිධානාත්මක අපරාධ සංවිධාන සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයන් මෙහෙයවා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු හෙළි කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා “2025 ඔක්තෝබර් මාසයේ ආරම්භ කරන ලද ‘රටම එකට ජාතික මෙහෙයුම’ මේ වන විට දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක කරලා තිබෙනවා. මෙම මෙහෙයුමේ අපේ මුඛ්‍ය පරමාර්ථය තමයි විදේශ රටවල සිට දරුණු ගණයේ අපරාධ මෙහෙය වන සැකකරුවන් සහ සැකකාරියන් පිළිබඳව අවධානය යොමු කිරීම. විශේෂයෙන් මෙරට තුළ අපරාධ සිදුකර විදේශ ගතව සැඟව සිටින සැකකරුවන් සහ සැකකාරියන් යළි මෙරටට රැගෙන ඒම තමයි අපේ මුඛ පරමාර්ථය වෙලා තිබෙන්නේ.

රතු නිවේදන නිකුත් කර තිබිය දී විදේශ රටවල සැඟව සිටි සැකකරුවන් 32 දෙදෙනෙක් මේ වන විට ශ්‍රී ලංකාවට රැගෙන ඒමට අප සමත්ව තිබෙනවා. ඒ වගේ රතු නිවේදන නොමැතිව, රාජ්‍ය යාන්ත්‍රණයේ තිබෙන සුහදත්ව සහ එකඟතාවයන් මත, අපේ පොලිස්පතිතුමා සහ අදාළ රටවල පොලිස්පතිවරුන් අතර ඇති වූ එකඟතා මත මේ වන විට සැකකරුවන් 16 දෙනෙක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම හැකියාව ලැබී තිබෙනවා.

අද (22) සුවිශේෂී දවසක්. ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යව සිටි සැකකරුවන් 19 දෙනෙක්  සහ සැකකාරියන් දෙදෙනෙක් අද උදෑසන ඩුබායි රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ආවා. මෙම සැකකරුවන් 21 දෙනාම බස්නාහිර පළාත තුළ සිදුකළ අපරාධවලට සම්බන්ධයි. විශේෂයෙන් ඔවුන් බොරැල්ල, වනාතමුල්ල, කොළඹ සහ මීගමුව ප්‍රදේශවල සිට අපරාධ මෙහෙය වූ සහ අපරාධ කළ සැකකරුවන් බව හඳුනා ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් අතර රතු නිවේදන නිකුත් කර තිබූ, මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම සහ අවි ආයුධ ජාවාරම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනෙක් සිටිනවා. ඔවුන් දෙදෙනාව ඉදිරි විමර්ශන සඳහා මධ්‍යම අපරාධ කොට්ඨාශයට සහ කොළඹ අපරාධ කොට්ඨාශයට භාර දීමට නියමිතව තිබෙනවා.

ඒ වගේම මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් වැරදිරුවන් වූ සැකකරුවන් කිහිප දෙනකුත් මේ පිරිස අතර සිටිනවා. ඔවුන් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර මගින් විදේශ ගතවී ඇති බව ද විමර්ශනවල දී හෙළිකර ගෙන තිබෙනවා” පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website