පාස්කු ඉරිදා ප්‍රහාරය දේශපාලනීකරණය කර සම්පූර්ණයෙන් දේශපාලන වාසියක් ලබා ගැනීමට වර්තමාන ආණ්ඩුව දැඩි උත්සාහයක් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ චෝදනා කළේය.
අද (21) කොළඹ දී මාධ්‍ය අමතමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.
පිල්ලේයාන් හමුවූ බවට එල්ල වන චෝදනා ඇතුළු ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද පැවසුවේය.
“මම පිල්ලෙයාන් හමුවෙන්න බන්ධනාගාරයේ තාප්පයෙන් පැනලා නෙමෙයිනේ ගියේ. බන්ධනාගාරයේ නීත්‍යානුකූල ලියකියවිලි අත්සන් කරලා තමයි ඔහුව බලන්න ගියේ. මම ඔහුව හමුවන අවස්ථාවේ බන්ධනාගාර නිලධාරියෙක් ළඟ හිටියා. මහජන මුදල් වියදම් කරලා ප්‍රංශයට ගියේ නාමල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ පිල්ලෙයාන්ව බලන්න ගියා ද කියලා අහගෙන එන්න නම් ඒක හරි අපරාධයක්, මහජන මුදල් අවභාවිතයක්. මොකද ඒ ගැන හැම මාධ්‍ය ආයතනයක්ම විකාශනය කළා. මම මාධ්‍ය අරගෙන ගියේ, හොරාට ගිය ගමනක් නෙමෙයි. මම බන්ධනාගාර තාප්පෙන් පැනලා රෑ ගිහිල්ලා ඔහුව හම්බ වෙලා ගෙදර ආවේ නැහැ.
පාස්කු ඉරිදා ප්‍රහාරය දේශපාලනීකරණය කරලා සම්පූර්ණයෙන් දේශපාලන වාසියක් ලබා ගන්න වර්තමාන ආණ්ඩුව දැඩි උත්සාහයක ඉන්නවා. මම දන්න ආකාරයට නම් බන්ධනාගාරය ඇතුළේ හොර සාකච්ඡා කරන්න බැහැ. ඒ වගේම හොරාට සාකච්ඡා කරන්න අවශ්‍ය නම් මම යන්නෙත් නැහැ.
අනෙක පිල්ලෙයාන් කියන්නේ අපේ හිටපු මහ ඇමැතිවරයෙක්, අපිත් එක්ක දේශපාලනය කළ කෙනෙක්. ඒ වගේම යහපාලන ආණ්ඩුව කාලේ තමයි ඔහුව අත්අඩංගුවට ගත්තේ. ඔහු යහපාලන ආණ්ඩුවේ දේශපාලන සිරකරුවෙක්. මම අදත් විශ්වාස කරනවා ඔහු මේ රටේ ත්‍රස්තවාදය අවසන් කරන්න සුවිශේෂ කාර්යභාරයක් කළා. හිටපු හමුදාපති සරත් ෆොන්සේකත් පහුගිය දා ඒ ගැන කිව්වා. ඒ වැනි කෙනෙක්ට යම් අසාධාරණයක් වෙනවා නම් ඒ වෙනුවෙන් පෙනී සිටින්න අපි දෙපාරක් හිතන්නේ නැහැ.
සුරේෂ් සලේ කියන්නේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියා. ඔහුව දඩයම් කරන්නේ ඩයස්පෝරාවේ වුවමනාවට ද, එසේ නොමැති නම් ආණ්ඩුවේ අවශ්‍යතාවයට ද, දේශපාලන අවශ්‍යතාවයට ද කියන එක ගැන මේ රටේ ජනතාවට යම් තක්සේරුවක් තිබෙනවා. දැන් බලාගෙන ගියාම ඒ රූකඩේ අන්තිම නූල තිබිලා තියෙන්නේ ජවිපෙ අතේ.
මොකද පාස්කු ඉරිදා ප්‍රහාරයේ ෆයිල් යට ගහපු නිලධාරියාට උසස් වීම් දෙන්නයි, ඒ නිලධාරියාවම යවලා කට උත්තර ලියා ගන්නයි, පාස්කු ඉරිදා ප්‍රහාරය කළ අයගේ දෙමාපියෝ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෝ වෙන්නයි, ඒ ප්‍රහාරයකයින්ගේ පියා ජවිපෙ ජාතික ලැයිස්තුවේ ඉන්නයි, අද ඔවුන්ගේ වේදිකාවේ හිටිය, ෆයිල් යට ගහපු කෙනාට පරීක්ෂණ භාර දෙන්නයි, ඒ දේශපාලන වුමනාවට රාජපක්ෂලා පිල්ලෙයාන්ව බලන්න ගියා කියලා කට උත්තරයක් ලියා ගන්න මහජන මුදල් වියදම් කරලා ප්‍රංශයට ගිය විදිහ බැලුවහම පැහැදිලිවම පේන්නේ අන්තිම නූල තිබිලා තියෙන්නේ ජවිපෙ අතේ කියලා”.













