පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් වත්මන් රජය පසුගිය මැතිවරණ සමයේ දී සුරංගනා ලෝකයක් රටේ ජනතාව ඉදිරිපිට මැව්වත් අද ඒ සුරංගනා ලෝකය බොරුවෙන් ප්‍රෝඩාවෙන් ඇන්දවිල්ලෙන් විනාශ කර දමන්නට රජය කටයුතු කර තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
විදුලි බිල 33%කින් අඩු කිරීම, කොමිස් බදු ඉවත් කර වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබා දීම, ලක්ෂ 12කට විට්ස් කාර් එකක් ලබා දී ඇතුළු එකී නොකී මෙකී සෑම පොරොන්දුවක්ම කඩකර රජය ජනතාව කබලෙන් ලිපට ඇද දමා තිබෙන බව ද විපක්ෂ නායකවරයා පැවසුවේය.
මේ නිසා ජනතාව දැඩි පීඩනයටත් අසහනයටත් ලක්ව සිටින බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
“රුපියල් 9000 විදුලි බිල 6000 කරනවා, 6000 විදුලි බිල 4000 කරනවා, 3000 විදුලි බිල 2000 කරනවා, 33%කින් විදුලි බිල අඩු කරනවා කියලා එදා ජනතාවට දුන්න පොරොන්දුව අද ආණ්ඩුවේ සියලු දෙනාටම අමතක වෙලා තිබෙනවා. මේ රටේ හැත්තෑපන් ලක්ෂයක් විදුලි පාරිභෝගිකයින් අනාථ කරපු ආණ්ඩුවක් තමයි අද මේ රට පාලනය කරන්නේ. රටේ ජනතාවට තෙල් ටික දෙනවා කිව්වා වරායේ ගොඩබාන මිලටම. ඇමතිවරයට යන කොමිස් මුදල අයින් කරනවා කියලා කිව්වා, නිලධාරීන්ට යන කොමිස් මුදල අයින් කරනවා කියලා කිව්වා, ගහන බදු සේරම ඉවත් කරනවා කියලා කිව්වා. එසේ කරලා අඩු මිලට තෙල් ටික රටේ ජනතාවට ලබා දෙනවා කියලා කිව්ව ආණ්ඩුව අද මේ රටේ සමස්ත ජනතාවම බොරුනේ රවටමින් සිටිනවා” විපක්ෂ නායකවරයා පැවසුවේය.













