වැඩ තහනම්ව සිටි මහා භාණ්ඩාගාරයේ සහකාර අධ්‍යක්ෂවරයෙක් සියදිවි නසා ගෙන – මරණය අභිරහසක්

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් ව්‍යාජ ගිනුමකට බැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටි මහ භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතා අද (30) උදෑසන සිය ගෙවත්තේදී සැකකටයුතු ලෙස මියගොස් සිටි බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා පැවසුවේය.

ඔහු බල නහරවලට හානි කර ගැනීමෙන් සිය දිවි හානි කරගෙන ඇති බවට සැකකරන බව ඔහු වැඩි දුරටත් පැවසුවේය.

මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් සොරා ගත් බව කියන හැකර්වරුන් විසින් ව්‍යාජ ඊ මේල් පණිවුඩය මගින් ලබාදුන් බැංකු ගිණුමට මුදල් බැරකිරීමේ මූලික පියවර රාජපක්ෂ මහතාගේ නොසැලකිල්ල මත සිදුව ඇති බව ද වාර්තා වේ. ඒ අනුව අධිකරණය මගින් ඔහුට විදෙස් ගමන් තහනමක් ද  පනවා තිබේ.

මෙම නිලධාරියාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස අවස්ථා කිහිපයකදී දැනුම් දී තිබුණ ද, ඔහු ඊට ප්‍රතිචාරයක් දක්වා නොමැති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

රංග රාජපක්ෂ

මේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ කරුණු හෙළි කරමින් කුලියාපිටිය පොලිසිය පැවසුවේ රංග රාජපක්ෂ මහතා ගෙවත්තේ වැටී සිටි අයුරු දුටු දියණිය ඒ පිළිබඳව මවට දැනුම්දීමෙන් අනතුරුව ඇය කුලියාපිටිය පොලිසිය දැනුවත් කළ බවය. ඒ අනුව පොලිසිය කුලියාපිටිය, පහළ වීරඹේ ප්‍රදේශයේ පිහිටි රාජපක්ෂ මහතාගේ නිවසට ගොස් සිදුකළ පරීක්ෂා කිරීමේදී ගෙවත්තේ කෙසෙල් පඳුරක් අසල තරමක විශාල ලේ පැල්ලමක් තිබෙන අයුරු නිරීක්ෂණය කර තිබේ.

ඔහු වැටී සිටි ස්ථානයේ තිබී පිහියක් ද සොයා ගෙන තිබේ. එම ස්ථානයේ ස්ථානීය පරීක්ෂාව සඳහා කුලියාපිටිය වැඩබලන මහේත්‍රාත් කාංචනා රූපසිංහ සහ අධිකරණ වෛද්‍ය නිලධාරී බී.ඒ.සී. බාලසූරිය පැමිණ සිටියහ.

මෙය සැකකටයුතු මරණයක් ලෙස සලකා පොලිසිය ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කළ අතර ඒ අනුව මෙය ඝාතනයක්ද නැතහොත් සියදිවි නසා ගැනීමක් ද යන්න පිළිබඳව විමර්ශන ක්‍රියාත්මකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website