
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා හමු වී විශේෂ සාකච්ඡාවක නිරත විය. මෙම සාකච්ඡාව සිදු වූයේ ඊයේ (23) මැතිවරණ මහලේකම් කාර්යාලයේ දීය.
එහි දී සාකච්ඡාවට බඳුන් වූයේ ඡන්ද භාවිතය සඳහා පහසුකම් අවම දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයන් සඳහා විකල්ප ඡන්ද ක්‍රම හඳුනාගැනීමට අදාළව ය.
ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන සෑම මැතිවරණයකදී ම ලියාපදිංචි ඡන්ද දායකයන් අතරින් දසලක්ෂ ගණනාවකටම ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව නොලැබෙන බව නිරීක්ෂණය වී තිබේ. අත්‍යාවශ්‍ය රාජකාරී වල යෙදීම අනිවාර්ය වී ඇති වෛද්‍යවරුන් ද ඇතුළු රෝහල් කාර්යමණ්ඩල, වරාය/ ගුවන් සේවා ආයතන වල නිලධාරීන්, ඇඟළුම් ක්ෂේත්‍රයේ නිරතවූවන් ඇතුළු ක්ෂේත්‍ර 20කට ආසන්න පිරිස් ඒ අතර වෙති. පවත්නා මැතිවරණ නීතියට අනුව අවම වශයෙන් තැපැල් ඡන්ද හිමිකම හෝ ඔවුන්ට හිමි නොවේ.
එයට අමතරව මෙම තත්වයට මුහුණ දෙන විදෙස් ගත රැකියාවන් හි නිරත මිලියනයකට අධික පිරිසක් ද එයට ඇතුළත් ය.
මෙම තත්වය පිළිබඳව අවධානය යොමු කළ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය එකී පිරිස් වෙත ඡන්ද හිමිකම යතාර්ථයක් කළ හැකි මාර්ග පිළිබඳව සිදු කරන ලද අධ්‍යනයකින් අනතුරුව ඊට අදාළව යෝජනා බලධාරීන් වෙත යොමු කිරීම සඳහා කටයුතු සම්පාදනය කරමින් සිටී. එම කටයුත්තේ දී නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය (පැෆරල්) හා ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනය (අයිරෙක්ස්) හි පූර්ණ සහාය ලබා දී ඇත.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සමඟ සිදු කරන ලද මෙම සාකච්ඡාව අතරතුර එම ක්‍රියාවළියට අදාළව සිදු කරන ලද අධ්‍යනයේ අතුරු වාර්ථාව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහලේකම් සුනිල් ජයසේකර මහතා විසින් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා වෙත භාරදෙනු ලැබීය.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමඟ සිදු කරන ලද මෙම සාකච්ඡාවට සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නියෝජනය කරමින් මහාචාර්ය රොහාන් සමරජීව, නීතීඥ ජාවේඩ් යූසුෆ්, සරත් අබේසිංහ යන මහත්වරුන් ද පැෆරල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සහ අයිරෙක්ස් ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා ද එක්ව සිටියහ














