මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සුරියප්පෙරුම වහා ඉල්ලා අස්විය යුතුයි –  Free Lawyer අවධාරණය කරයි

එක්සත් ජනපද ඩොලර් මිලියන 2.5ක් තෙවන පාර්ශ්වයක් අතට පත්වීම සම්බන්ධයෙන් වගකීම භාර ගෙන මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වහාම ඉල්ලා අස්විය යුතු බව Free Lawyer සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ නීතිඥ අතුල ද සිල්වාගේ අත්සනින් අද (23) දින නිකුත් කළ එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.

ඩොලර් මිලියන 2.5ක් තෙවන පාර්ශ්වයක් අතට පත්වීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වහා ඉල්ලා අස්විය යුතු බව ‘‍ෆී ලෝයර්ස්’ සංවිධානය අවධාරණය කරයි.

මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් අද දින පැවැත්වූ පුවත්පත් සාකච්ඡාව කෙරෙහි අප සංවිධානයේ අවධානය යොමු විය.  2025 සැප්තෑම්බර් මස මුදල් අමාත්‍යාංශයේ පරිගණක සර්වරයේ ‘රූට් ඇස්කස්’ (Root Access) ලබාගැනීමට යම් පුද්ග‍ලයෙකු සමත්වී තිබුණි.  අමාත්‍යාංශ ලේකම්වරයා එම තොරතුර දැන සිටි නමුත්, ඒ පිළිබඳ කිසිදු විධිමත් ආරක්ෂක පියවරක් ගනු නොලැබීය.  මේ බව අද පුවත්පත් සාකච්ඡාවේ දී ද, ඔහු විසින් වසන් කරන ලදී.  එමගින් ඔහු රටත් ජාතියත් සියලු පාර්ශ්යන් ද රැවටීමට ලක් කරනු ලැබීය.

තව ද, ලේකම්වරයා අප විසින් මෙය අනාවරණය කරන තෙක්, මාස 7 ක් පුරා, අවම වශයෙන් මේ පිළිබඳ අමාත්‍ය මණ්ඩලයට, පාර්ලිමේන්තුවට හෝ වෙනත් කිසිදු වගකිවයුතු පාර්ශවයක් වෙත දැනුම්දීමට පියවර ගෙන නැත. මෙය පැහැදිලි ලෙස ‘වගකීම් පැහැර හැරීමේ අපරාධයකි’.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මෙම සිද්ධිය හුදු ‘සයිබර් ප්‍රහාරයකට’ ලඝු කිරීමට උත්සහ දරමින් ඇත.  මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ගේ ලිඛිත අනුමැතිය සහිතව මෙම ගෙවීමේ සියළු කටයුතු සිදුව ඇත.  විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඉහළ සිට පහලට සෑම මට්ටමකම නිලධාරීන් 16කට ආසන්න පිරිසකගේ දායකත්වය මෙයට ලැබී ඇත. එබැවින් මෙම ඔවුන් පවසන පරිදි සයිබර් ප්‍රහාරයක් නොවන බවත් මෙය මුල්‍ය අපරාධයක් බව අපගේ විශ්වසයයි.

ලංකා භාණ්ඩාගාරයට ඩොලර් මිලියන 2.5ක් අහිමිවීට හේතුව මුදල් අමාත්‍යාංශයේ හා භාණ්ඩාගාරයේ කටයුතු සම්බන්ධයෙන් කිසිදු අත්දැකීමක් හෝ පළපුරුද්දක් නොමැති හර්ෂ සුරියප්පෙරුම ලේකම්වරයා ලෙස කටයුතු කිරීමය.    ඔහු මෙම තනතුරට පත්වීමට පෙර ජාතික ජන බලවේගයේ පාර්ලමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වී මුදල් නියෝජ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කිරීමයි.  ඒ හැර මෙම තනතුර දැරීමට ඔහුට කිසිදු සුදුසුකමක් නැත. ඉතිහාසයේ කිසිදු අවස්ථාවක භාණ්ඩාගාර ලේකම්වරයා ලෙස අවම වශයෙන් ප්‍රාදේශීය ලේකම්, සහකාර ලේකම්, දෙපාර්තමේන්තු ප්‍රධානී, අතිරේක ලේකම් වැනි වගකීමක් දරනු නොලැබූ සහ රාජ්‍ය සේවයේ පරිපාලන අත්දැකීම් නොමැති ආධුනිකයෙකු පත් වී නැත.

ඕස්ට්‍රෙිලියානු ගෙවීම සම්බන්ධයෙන් සියළු මුලික අනුමැතීන් ලබාදුන් මුදල් අමාත්‍යාං‍ශ ලේකම්වරයා මෙම තනතුරේ තබාගනිමින් සිදු කරන කිසිදු විමර්ශනයකින් සාධාරණයක් ඉටුවිය නොහැකිය. එබැවින් මෙම වංචාව සම්බන්ධයෙන් පළමු අනුමැතිය ලබාදුන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂ සුරියප්පෙරුම මහතා එම ධූරයෙන් ඉවත් විය යුතුය.  ඔහු ඉවත් නොවන්නේ නම්, අමාත්‍යාංශ ලේකම්වරයෙකු පත් කිරීමේ බලය සහිත අතිගරු ජනාධිපතිතුමන් විසින් ඔහු එම ධූරයෙන් ඉවත් කර, පරිපාලන අත්දැකීම් සහිත වගකීම් දැරිය හැකි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු එම තනතුරට පත් කළ යුතු බව ‘‍ෆී ලෝයර්ස්’ සංවිධානය අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website