ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත: Amnesty International  ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලන්නේ කුමක් ද ?

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම සඳහා නව කෙටුම්පත ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම්වලට අනුකූල බව සහතික කිරීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ වින්දිතයින්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ අනෙකුත් අදාළ පාර්ශ්වයන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සලකා බලන ලෙස ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් / Amnesty International ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.

1979 අංක 48 දරන වත්මන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිස්ථාපනය කිරීම සඳහා රජය විසින් ඉදිරිපත් කරන ලද නව කෙටුම්පත් නීතිය පිළිබඳ මහජන අදහස් දැක්වීමේ කාලය පසුගිය සෙනසුරාදා (28) අවසන් විය. ඒ අනුව, මෙම කෙටුම්පත පිළිබඳ සිය ස්ථාවරය සහ නිර්දේශ අඩංගු ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් විසින් පසුගිය 27 වන දින අධිකරණ අමාත්‍යාංශයට යවන ලද ලේඛනයේ ඉස්මතු කර ඇති ප්‍රධාන කරුණු පහත පරිදි වේ:

‘ත්‍රස්තවාදය’ යන යෙදුම ජාත්‍යන්තර ප්‍රකාශනවල හෝ සාමාන්‍ය ජාත්‍යන්තර නීතියේ අර්ථ දක්වා නොමැත. දේශපාලන විවේචන සහ ප්‍රකාශනයේ නිදහස, රැස්වීමේ නිදහස සහ අනෙකුත් මානව හිමිකම් නීත්‍යානුකූලව මර්දනය කිරීමේ අරමුණින් සමහර රජයන් ‘ත්‍රස්තවාදය’ යන යෙදුමට පුළුල් අර්ථ දැක්වීමක් ලබා දෙන බව අපගේ සොයා ගැනීම්වලින් පෙනී යයි. ඒ අනුව, ශ්‍රී ලංකාවේ, විවිධ සංශෝධන තිබියදීත්, එක් එක් රජයන් විසින් යෝජනා කරන ලද කෙටුම්පත් ‘ත්‍රස්තවාදය’ යන යෙදුමට පුළුල් අර්ථ දැක්වීමක් ලබා දීම දිගටම කරගෙන යයි. මෙය නීතිය අත්තනෝමතික ලෙස භාවිතා කර උල්ලංඝනයන්ට තුඩු දිය හැකි බවට තර්ජනයක් නිර්මාණය කරයි.

ඊළඟට, සෝදිසි කිරීම්, අත්අඩංගුවට ගැනීම්, සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම, ඕනෑම ගොඩනැගිල්ලකට ඇතුළු වීම සහ දේපළ අත්පත් කර ගැනීම ඇතුළු පොලිසියට ලබා දී ඇති ප්‍රධාන බලතල මෙම නව කෙටුම්පත හරහා හමුදාවට ලබා දී ඇත. කෙසේ වෙතත්, මහජනතාව අතර නීතිය හා සාමය පවත්වා ගැනීම ඇතුළු කාර්යයන්හි නිරත වීමට හමුදාව පුහුණු කර නොමැති බැවින්, මෙම කාර්යයන් ඉටු කිරීමේ බලය පොලිසිය ඇතුළු සිවිල් ආරක්ෂක හමුදාවන්ට පමණක් ලබා දිය යුතුය.

ඒ හා සමානව, සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු මාස ​​2 සිට අවුරුද්දක කාලයක් රඳවා තබා ගැනීමේ හැකියාව සහ විධායක ජනාධිපතිවරයාට වැඩි බලතල ලබා දීම ද මෙම නව කෙටුම්පතේ ඇතුළත් කර ඇති වැදගත් සැලකිලිමත් විය යුතු කරුණු වේ.

මෙම සන්දර්භය තුළ, ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම සඳහා වන කෙටුම්පත් නීති කෙටුම්පත පිළිබඳව මහජන මතය විමසීමේ මුලපිරීම සාදරයෙන් පිළිගන්නා අතරම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ වින්දිතයින්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ අනෙකුත් අදාළ පාර්ශවයන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා මේ සම්බන්ධයෙන් සලකා බැලිය යුතු බවත්, නව කෙටුම්පත ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම්වලට අනුකූල විය යුතු බවත් අපි ඉල්ලා සිටිමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website