වත්මන් රජයේ මැතිවරණ පොරොන්දුවක් වූ කාන්තා කොමිෂන් සභාව අද වන විට රජයේ අතකොලුවක් බවට පත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (18) පාර්ලිමේන්තුවට පැවසුවේය.
විපක්ෂ නායකවරයා කාන්තා කොමිෂමේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අද උදෑසන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න නගන විට සභානායක බිමල් රත්නායක දිගින් දිගටම ඔහුට බාධා කළේය.
මේ සම්බන්ධයෙන් සිය බලවත් අප්‍රසාදය පළ කළ විපක්ෂ නායකවරයා කාන්තා කොමිසමට රජයෙන් එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් දිගින් දිගටම කරුණු හෙළි කළේය.
“වත්මන් රජය කාන්තාවන් වෙනුවෙන් ස්වාධීන කොමිෂන් සභාවක් ඇති කළත් ඒ කොමිෂන් සභාව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යටතට ගැසට් කර තිබීම නිසා මෙම කොමිසමේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල වෙලා තිබෙනවා. රාජ්‍ය සේවා කොමිෂන් සභාව, අධිකරණ සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිසම, අල්ලස් කොමිසම, මුදල් කොමිසම, මානව හිමිකම් කොමිසම සහ මැතිවරණ කොමිෂන් සභා යනාදී කොමිෂන් සභාවලට පවා මුදල් වෙන් කර ඇත්තේ විශේෂ වියදම් ඒකක යටතේ වුවත් කාන්තා කොමිසම තුළ එවැනි දෙයක් දක්නට නැහැ. මෙය විශාල වරදක් සේම සමස්ත කාන්තා පරපුරටම කළ අපහාසයක් බව අමතක නොකළ යුතුයි” විපක්ෂ නායකවරයා පැවසුවේය.
ඊට අමතරව අද වන විට අධ්‍යාපනය සම්බන්ධ ප්‍රශ්න ඇසීමට පවා රජය විපක්ෂයට අවස්ථාව නොදෙන බවට චෝදනා කළ විපක්ෂ නායකවරයා ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට රජය අවස්ථාව ලබා දිය යුතු බවත් එය ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ වගකීමක් සහ යුතුකමක් බව ද අවධාරණය කළේය.















