චමින්ද විජේසිරි – පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගය
- මේක හැමමෝම අහන ප්‍රශ්නයක්, මන්ත්‍රීතුමනි, ජාතික ජන බලවේගය ආණ්ඩුවට වෙමින් තිබෙන්නේ කුමක් ද ?
අපේ කතාවක් තියෙනවා, හැංඟි හැංඟි වෙස් බැන්ඳට නටන්න වෙන්නේ එළියේ කියලා. මේ වන කොට ජනතා විමුක්ති පෙරමුණ, එහෙම නැතිනම් මාළිමාව අවුරුදු ගණානක් හැංඟි හැංඟි බැන්ඳ වෙස් මූණ ගැලවිලා ඔවුන්ගේ සැබෑ ස්වභාවය නිරාවරණය වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපේ කතාවක් තියෙනවා ‘බොරුවට ආයුෂ නෑ’ කියලා. ජවිපෙත් අවුරුදු 60ක් තිස්සේ බොරුවෙන්ම දේශපාලනය කළා, බොරුනේම රැකුණා. ඔවුන් ආණ්ඩු බලය ගත්තෙම බොරු කියලා. දැන් ඒ බොරුවේ ආයුෂ අවසන් වෙලා තියෙනවා. මේ ආණ්ඩුව අද අන්ත අසරණ වෙලා තියෙන්නේ බොරුවයි, ආණ්ඩුවේ කටයි, හැසිරීමයි නිසා. ඔවුන් අවුරුදු 60ක් තිස්සේ බලයේ සිටි ආණ්ඩු විවේචනය කළා, කඩාකප්පල් කළා. දෙවරක් ත්‍රස්තවාදයෙන් බලය අල්ල ගන්න ගිහින් අසාර්ථක වුණ ජවිපෙ 1994 දී පාර්ලිමේන්තුවට ආපු දවසසේ සිට ආණ්ඩු බලය ඉල්ලුවා, හට හදන්න අපට දෙන්න කියලා කිව්වා. එක පාරක් දීලා බලන්න කිව්වා. මේ කතා විශ්වාස කළ ජනතාව 2024 දී අනුර කුමාරට ජනාධිපතිකම දී පාර්ලිමේන්තුවේ 2/3කට වවා වැඩි බලයක් දුන්නා. පළාත් පාලන ආයතන වලත් බලය දුන්නා. ඒත් දැන් මොකද වෙලා තියෙන්නේ. මාළිමාවත් ඔවුන් විවේචනය කළ පරණ ආණ්ඩු ගිය පාරෙම යනවා. මේ නිසා වර්තමානය වන විට ආණ්ඩුවට එරෙහිව දැවැන්ත මහජන විරෝධයක්, වෘත්තීය සමිතිවල විරෝධයක් එල්ල වෙමින් තිබෙනවා. ආණ්ඩුව බිම් මට්ටමේ දී පැහැදිලිව ප්‍රතික්ෂේප වෙලා තිබෙනවා. 2022-24 කාලේ තොග පිටින් දිනපු සමූපකාර ඡන්ද ලොවෙත් නැති වෙන්න පරාද වෙන එකෙන් මේ බව පැහැදිලිව පේනවා. මේ වන විට ආණ්ඩුවේ බිඳ වැටීමට අවශ්‍ය සියලු සාධක ආණ්ඩුව විසින්ම ළංකර ගෙන තිබෙනවා. ගැසට් රිවස් කිරීම තුළින්ම මේ බිඳ වැටීම තහවුරු වෙනවා.
- ආණ්ඩුවේ ‘නොහැකියාව’ ගැනත් බරපතළ චෝදනාවක් තිබෙනවා නේද ?
ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරිය ඇතුළු මුළු ආමාත්‍ය මණ්ඩලම, ආණ්ඩු පක්ෂයම මේ වන විට තම ‘නොහැකියාව’ අවශ්‍ය ප්‍රමාණටත් වඩා තහවුරු කරලා තිබෙනවා. ඒ වගේම ඔවුන් විපක්ෂයේ සිටිය දී, පසුගිය 60 වසර පුරාම කිව්ව කතා අද අමතක වෙලා තියෙනවා. ඒ වගේම මාළිමාව පොරොන්දු වුණා ‘ශීලාචාර දේශපාලන සංස්කෘතියක්’ හදනවා කියලා. ඒත් ඔවුන් මුළු දේශපාලනයම අන්ත ආශිලාචාර තත්ත්වයකට පත්කරලා තිබෙනවා. මේ වගේ අශිලාචාර දේශපාලන සංස්කෘතියක් මේ රටේ තිබිලා නැහැ. මෙහි සරල අදහස තමයි ඉතාම කෙටි කාලයක් තුළ මාළිමාව ආණ්ඩුව විශාල පිරිහීමකට ලක්ව තිබෙනවා.
ඔබම කියන ආකාරයට ජවිපෙ අවුරුදු 60ක් දේශපාලනය කළ පක්ෂයක්, අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයත් දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ නායකයෙක්. ඔබ හිතන ආකාරයට ජනාධිපතිවරයාට, ආණ්ඩුවට වැරදුණේ කොතැනද ?
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදීව බලය ලබා ගැනීමක් ගැන විශ්වාස නොකළ පක්ෂයක්. ඔවුන් කවදාවත් ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත්වෙයි කියලා විශ්වාස කළේ නැහැ. ඒ නිසාම ජවිපෙ කවදාවත් ආණ්ඩුකරණයකට සූදානමින් හිටියේ නැහැ. ඔවුන් පෙනී සිටියේ වර්තමානයට ලෝකයට නොගැළපෙන සමාජවාදය වෙනුවෙන්. තමන්ට කවදාවත් ප්‍රජාතන්ත්‍රවාදීව බලය ලැබෙයි කියලා නොහිතපු නිසා ජවිපෙට පුරසාරම් දොඩන්න අවස්ථාව ලැබුණා. බොරු කියන්න අවස්ථාව ලැබුණා. තමන් හැර අනෙක් සියලුමම පක්ෂ, දේශපාලනඥයෝ දූෂිතයෝ, හොරු කියලා කියන්න අවස්ථාව ලැබුණා. ඒකට හේතුව තමයි ඔවුන්ව කවදාවත් පරීක්ෂාවට ලක් නොවන බව දැන සිටීම. ඒත් අපේ ජනතාව 2024 දී අනුර කුමාර දිසානායකව බලයට පත් කළා. ඔහු මුල් වටයේ 42%යි ඡන්ද ගත්තේ. නමුත් දෙවැනි මනාපය නිසා ඔහුට ජයග්‍රාහකයා වෙන්න අවස්ථාව ලැබුණා. ඊට පස්සේ මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළා. මම යළිත් අවධාරණය කරනවා, අනුර කුමාර හෝ ජවිපෙ කිසිම දාක ආණ්ඩු බලය ලැබෙයි කියලා විශ්වාස කළේ නැහැ, අනුර කුමාර හීනෙන්වත් ජනාධිපති වෙයි කියලා හිතුවේ නැහැ. ඒත් ඔවුන් නොසිතූ ලෙස බලයට පත් වුණා. මේ අහඹු බලය නිසයි අනුර කුමාර ඇතුළු ආණ්ඩුව ඉතාම කෙටි කාලයකින් අර්බුදයට ගියේ. අනෙක් කාරණය තමයි මේ ආණ්ඩුවට උපදෙස් ලබා දෙන කල්ලිය. මේ ආණ්ඩුවට උපදෙස් ලබා දෙන්නේ කවුද ?, පසුගිය ආණ්ඩුවලට උපදෙස් දුන්න කල්ලියම තමයි මේ ආණ්ඩුවටත් උපදෙස් ලබා දෙන්නේ. මාළිමාව පසුගිය ආණ්ඩුවට බැන්නට, චෝදනා කළාට, ඒ කඳවුරත් එක්ක එකට ඉදගෙන තමයි ආණ්ඩු කරන්නේ. මේ දෙගොල්ලොම පාර්ලිමේන්තු කැන්ටිමේ එකට කෑම කනවා. ජවිපෙ හැමදාම තමන්ගේ පෝෂණය වෙනුවෙන් ආණ්ඩු පාවිච්චි කළා. ආණ්ඩු වල වැරදි කියනවා, කකුලෙන් අදිනවා. දූෂණ ගැන චෝදනා කරනවා. නමුත් ඒ කිසිවක් අධිකරණය හමුවට ගෙන යාමට හැකියාවක් ජවිපෙට තිබුණේ නැහැ. අනුර කුමාර දිසානායක දූෂණ විරෝධය තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් පාවිචචි කළ නායකයෙක්.
- ඔබ කුමන චෝදනා කළත් අනුර කුමාර වීරයෙක් කියලා සලකන පිරිසක් ඉන්නවා නේද ?
ඔව්, ඉන්නවා. මමත් පාර්ලිමේන්තු යන්න කලින් එහෙම විශ්වාස කළා. ඒත් මම පාර්ලිමේන්තු ගිය දවසෙම ඒ විශ්වාසය නැති වුණා. ආණ්ඩුවට කරන්න පුළුවන් හැම චෝදනාවක්වම කරලා, විවේචනය කරලා, කැන්ටිමට ඇවිත් එක මේසේ කනවා නම් තව මොනවා කියන්න ද ?, මේ අය දේශපාලන ඩීල් දාන ආකාරය අපි දැක්කා. නමුත් ජනතාව දැක්කේ බැටළු හම පොරවා ගෙන ඉන්න පිරිසක්. නමුත් අද ජනතාව ඇත්ත දන්නවා. තව දුරටත් ජතාව රවටන්න අනුර කුමාර දිසානායකට හෝ මාළිමාවට හැකියාවක් නැහැ. අනුර තව දුරත් වීරයෙක් නෙමෙයි.
- ඇත්තටම අනුර කුමාර දිසානායකව ජනාධිපති කළේ, මාළිමාවට පාර්ලිමේන්තුවේ 2/3ක් දුන්නේ කවුද ?
දේශපාලන වෛරයෙන් පිරුණු පිරිසක් තමයි මේ ආණ්ඩුව බලය පත් කළේ. ජවිපෙ සහ පසු කාලීනව මාළිමාව මේ රටේ උගත්, බුද්ධිමත් පිරිස අතර මහා දේශපාලන වෛරයක් නිර්මාණය කරලා තිබුණා. ඔවුන් ඉතාම ආත්මාර්ථකාමී සහ අවස්ථාවාදී ලෙස ආර්ථික පීඩනය පළිගැනීමේ අවස්ථාවක් කර ගත්තා. මම පැහැදිලිවම කියනවා අපේ ජනතාවට වැරදුණා. නමුත් මම ජනතාවට චෝදනා කරන්නේ නැහැ. ඔවුන් ජවිපෙ, මාළිමාවේ කතා වලට, බොරු පොරොන්දු වලට මෝහණය වුණා.
- විපක්ෂය පසුගිය කාලය පුරාම ආණ්ඩුවට විවිධාකාරයේ දූෂණ චෝදනා එල්ල කළා. දූෂණ විරෝධී ආණ්ඩුවකට මේ ආකාරයේ දූෂණ චෝදනා එල්ල කිරීම කොතරම් සාධාරණ ද ?
ජනතාව අතර ජනප්‍රිය දූෂණ චෝදනා රැසක් තිබෙනවා. කන්ටේනර් 323ක් හොර පාරෙන් වරායෙන් පිට කිරීම, පසුගිය දිනවල සිදු වුණ බලා ගල් අඟුරු වංචාව වාගේ අන්ත දූෂණ චෝදනා රැසක් ඉතාම කෙටි කාලයක් තුළ මේ ආණ්ඩුවට එල්ල වෙලා තිබෙනවා. ඒ අතර කවුරුත් නොදන්න, කතා නොකරන දැවැන්තම වංචාව තමයි මන්නාරමේ සුළං බලාගාරයේ ටෙන්ඩර් මගඩිය දැවැන්තම වංචාවයි. මේකට ඍජුව ජනාධිපතිවරයා සම්බන්ධයි. ජේවීපී කරයෝ කියන්නේ හොරකම පෙන්න පෙන්න ඒ හොරුත් එක්කම හොරකම් කළ කල්ලියක්. ඒක තමයි මේ කල්ලිය ඉතිහාසය පුරාම කළේ. ජවිපෙට, මාළිමාට හොරකම පුරුදු නැහැ කියලා හිතන එක තරම් තවත් මෝඩකමක් නෑ. මෙයාලා තමයි හොරුන්ව බය කරලා, හොරුන්ව බ්ලැක්මේල් කරලා, හොරුන්ගේ ෆයිල් පෙන්න පෙන්න හොරුත් එක්ක එක පතේ කෑවේ. මේ ඇයට හොරාකෑම අලුත් දෙයක් නෙමෙයි. ඒ නිසා ජනතාව අපේක්ෂා කරන ආකාරයට මේ අය කවමදාවත් හොරු අල්ලන්නේ නම් නැහැ. මේක හරියට ‘බුදුසරණයි’ කියලා බෝඩ් ලෑල්ලක් ගහ ගෙන හොර හරක් අඳින ලොරියක් වාගේ.
- විපක්ෂය කොපමණ චෝදනා කළත් ආණ්ඩුව ඒ ගැන කිසිම තැකීමක් කරන්නේ නැහැ නේද ?
අනුර කුමාරලා විපක්ෂයේ ඉන්න කාලේ මේ බාල ගල්අඟුරු ආවනම්, මේ වගේ විහිළු සහගත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළා නම්, කන්ටේනර් පැන්නුවා නම් ඔවුන් මොනවා නොකරයි ද ?. එහෙනම් මේ කල්ලිය මේ වෙන කොට මහ පාරේ හැපිලා නේද ?, වැඩවර්ජන කීයක් කරයි ද?. නමුත් මේ දැවැන්ත හොරකම, වංචා ගැන ජනතාව දන්නේ නැහැ.
මේ ගැන ජනතාව දැනුවත් කිරීම විපක්ෂයේ වගකීමක් නේද ?
අපි 100%ක් අපේ කාර්යභාරය ඉටුකරලා තිබෙනවා. කබලෙන් ලිපට වැටිලා ඉන්න ජනතාව තව දුරටත් පීඩාවට පත්කරන්න අපට අවශ්‍ය නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ අරාජික දේශපාලන ප්‍රතිපත්තිය අපට අදාළ නැහැ. අපි පාර්ලිමේන්තුව තුළත්, පාර්ලිමේන්තුවෙන් පිටතත් ජනතාවට පීඩාවක් නොවන ලෙස ඔවුන්ව දැනුවත් කරනවා. ඒ නිසා තමයි අද වෛද්‍යවරු, සංවර්ධන නිලධාරීන් එළියට බැහැලා තියෙන්නේ. පසුගිය මැතිවරණවලදී ආණ්ඩුවට සහයෝගය දුන්න පාර්ශ්ව බහුතරයක් මේ වන විට ආණ්ඩුව සමඟ නැහැ. ඒ අපි ක්‍රමානුකූලව ජනතාව දැනුවත් කළ නිසයි. අපි විනාශකාරී විපක්ෂයක් නෙමෙයි.
- මේ කතාත් විපක්ෂයේ ‘නොහැකියාව’ නිසා කියන කතා කියලා මම කිව්වොත් ?
මම යළිත් කියනවා, අපි ඉතාම සාර්ථකව ආණ්ඩුවට එරෙහිව ජනතා දැනුවත් කරමින් ඉන්නවා. නමුත් අපි මතක තබා ගත යුතුයි, ජනතාව තමයි මාළිමාවේ 159ක් පාර්ලිමේන්තුව යැව්වේ. මේක ජනතාවගේ පාර්ලිමේන්තුවක් නෙමෙයි, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නෙමෙයි, මේක කතානායකගේ සහ සභා නායකගේ පාර්ලිමේන්තුවක්. නමුත් අපි ආණ්ඩුවේ මර්දනයට ඍජුව මුහුණ දෙනවා, අපි මේ මර්දනය පරාජය කරනවා. ඒ ශක්තිය විපක්ෂයට තිබෙනවා. ඒ ගැන අපි සහතිකයක් ජනතාවට දෙනවා.
කතානායකවරයාට හිටපු පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් බරපතළ චෝදනාවක් එල්ල කරලා තිබෙනවා නේද ?
මෙවැනි සිදුවීමක් වාර්තා වෙන්නේ ඉතිහාසයේ පළමු වතාවටයි. මාළිමාව බලයට ඒමට පෙර කිව්ව සියලුම කතා කතානායකවරයා විසින් නිරුවත් කර තිබෙනවා. ආණ්ඩුවට කොන්ඳක්, හෘද සාක්ෂියක් හෝ විලිලැජ්ඡාවක් තිබෙනවා නම් කතානායකවරයාට එරෙහි චෝදනා ගැන ස්වාධීන පරීක්ෂණයක් කළ යුතුයි.
සටහන – භාතිය බරුකන්ද














