
ඔබ කැළණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ අංශාධිපතිවරයා ලෙස මෙන් ම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයෙක් ලෙස ද කටයුතු කර තිබෙනවා. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම්වරයෙක්, ජනමාධ්‍ය පිළිබඳ පර්යේෂකයෙක්. මේ සියලු පසුබිම් සහිතව වත්මන් ආණ්ඩුව ජනමාධ්‍ය සම්බන්ධයෙන් දක්වන ආකල්පය සහ ජනමාධ්‍ය වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් දක්වන ආකල්පය ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ?
මම හිතන ආකාරයට මීට පෙර පැවති ආණ්ඩු ජනමාධ්‍ය සම්බන්ධයෙන් දක්වපු ප්‍රතිචාරය තරම් ම බරපතළ ප්‍රතිචාරයක් වත්මන් ආණ්ඩුව තවම ජනමාධ්‍ය සම්බන්ධයෙන් දක්වන්නේ නැහැ. අපි දැකලා තිබෙනවා ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගෙන් පසුව බලයට පත් වුණ රනිල් වික්‍රමසිංහ ජනමාධ්‍ය සම්බන්ධයෙන් දක්වපු ආකල්පය. 1977න් පස්සේ බලයට පත් වුණ පාලකයින්ගෙන් ඩී.බී. විජේතුංග සහ මෛත්‍රීපාල සිරිසේන හැර අනෙක් සියලුම පාලකයෝ ජනමාධ්‍යවලට සලකපු හැටි සම්බන්ධයෙන් තියෙන්නේ චෝදනාවක්. ජනමාධ්‍ය ආයතනවලට ගිනි තැබිම, ජනමාධ්‍යවේදීන් මරා දැමීම, පැහැර ගෙන යාම, තර්ජනය කිරීම, අතුරුදන් කිරීම, මාධ්‍ය ආයතනවලට ගිනි තැබීම, පහර දිම, සීල් තැබීම ඇතුළු මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට කරන්න පුළුවන් සෑම බලපෑමක්ම, තර්ජනයක්ම පසුගිය ආණ්ඩු කළා. ලෝක ඉතිහාසයේ කාටූන් ශිල්පීන්ට බලපෑම් කළ අවස්ථා, පහර දුන් අවස්ථා විරලයි. ඒත් ඒක ලංකාවේ සිදු වුණා. ඒ නිසා අපි සිදුවීම් ලඝු නොකළ යුතුයි. ඒ නිසා මම හිතනවා පසුගිය යුගයේ සිදු වුණ තරම් බරපතළ සිදුවීම් මේ ආණ්ඩුවෙන් සිදු වෙලා නැහැ.
වත්මන් ආණ්ඩුව බලයට පත් වීමට පෙර ජනමාධ්‍යවේදීන්ට පොරොන්දු ගණනාවක් දුන්නා නේද ?
ඔව්, මේ ආණ්ඩුව බලයට පත් වුණේ පසුගිය කාලයේ ජනමාධ්‍යවේදීන්ට මුහුණ දීමට සිදු වුණ බලපෑම්, අකටයුතුකම්, අයුක්තීන් සොයනවා, නිරීක්ෂණය කරනවා, යුක්තිය ඉටුකරනවා කියලා පොරොන්දු දීලා. නමුත් ඒ පොරොන්දු ඉටුකිරීම සම්බන්ධයෙන් යම් ආකාරයක ප්‍රමාදයක්, යම් ආකාරයක සාධාරණයක් ඉෂ්ඨ නොවුණාය කියන අදහසක්, යම් ආකාරයක නොසැලකීමක් සිදුකරනවා කියන හැඟීමක් ජනමාධ්‍යවේදීන් අතර තිබෙනවා. මම හිතන්නේ ආණ්ඩුව මේ ගැන සැලකිලිමත් විය යුතුයි.
ජාතික මාධ්‍ය වලට වඩා සමාජ මාධ්‍ය වර්තමානයේ ආණ්ඩුකරණය කෙරෙහි මැදිහත් වන ආකාරය, බලපෑම් කරන ආකාරය අපි දකිනවා. ඔබ මේ තත්ත්වය දකින්නේ කෙසේ ද ?

මම මේ තත්ත්වය දකින්නේ යම් ආකාරයක යහපත් ප්‍රවණතාවක් හැටියට. ඒකට හේතුව තමයි අපි හැමදාමත් මාධ්‍ය නිදහස ඉල්ලුවේ ව්‍යාපාරිකයින්ගෙන්, එහෙම නැති නම් ආණ්ඩුවෙන්. ආණ්ඩුව යටතේ තිබෙන ජනමාධ්‍ය නිදහස් කරන්න, ව්‍යාපාරිකයින් සතු මාධ්‍යවලට නිදහස දෙන්න, බලපෑම් ඉවත් කරන්න කියලා අපි හැමදාම ඉල්ලුවා. මේ සම්බන්ධයෙන් කතා කරන විට යුනෙස්කෝ සංවිධානය කළ විශේෂ ප්‍රකාශයක් තිබෙනවා. ඔවුන් කීවේ ‘මාධ්‍ය බහුවිධකරණය / Media pluralism මේකට එක උත්තරයක්’ කියලා. වර්තමානය වන විට පුවත්පත්, ගුවන්විදුලිය සහ රූපවාහිනිය අකර්මන්‍ය වෙමින් තිබෙනවා, ඒවායේ පාඨක පරාසය, ශ්‍රාවක පරාසය සහ ප්‍රේක්ෂක පරාසය බිඳ වැටෙමින් තිබෙනවා. ඒ හිඩැස පුරවන්න විවිධාකාර සමාජ මාධ්‍ය ජාලාවන් බිහිවෙමින් තිබෙනවා. ඒ හරහා බරපතළ ලෙස ආචාරධර්ම උල්ලංඝනය විම්, සදාචාරසම්පන්න නොවීම, විනයක් නොතිබීම ආදි ගැටලු රැසක් නිර්මාණය වෙලා තිබෙනවා. මේවා නියාමනය කරන්න, මඟ පෙන්වන්න, පුහුණු කරන්න යා යුතු නැහැ. ඒවා ස්වභාවිකව බිඳ වැටෙනවා. මිනිසුන්ට බොරු කියන කොට, වංචා කරන කොට මිනිස්සු ඒ මාධ්‍ය වලින් ඈත් වෙනවා. සමාජ මාධ්‍ය වේදිකා දිගින් දිගටම අසභ්‍ය ප්‍රකාශනවල නිරත වෙනවා නම් ඔවුන්ට ඉන්නේ ඒ ඉලක්ක පිරිස පමණයි. අපි මේ ගත කරන්නේ සමාජ මාධ්‍ය වල සංක්‍රාන්ති අවධියක්. මේ පසුබිම තුළ මම පුද්ගලිකව හිතනවා සමාජ මාධ්‍ය අවධි වීම අධිකාරීවාදී මාධ්‍ය වලට වඩා යහපත් ප්‍රවණතවක් කියලා.
ඔබ කියන්නේ සමාජ මාධ්‍යවලට නියාමනයක් අවශ්‍ය නැහැ කියල ද ?
නැහැ, සමාජ මාධ්‍ය නියාමනය කළ යුතුයි. සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ව පුහුණු කළ යුතුයි, ඔවුන්ව අධීක්ෂණය කළ යුතුයි. ඒකට හේතු ගණනාවක් තිබෙනවා. විශේෂයෙන්ම වර්තමානය වන විට දරුවන්ව සමාජ මාධ්‍ය වලින් ඈත් කර තැබීමේ ගෝලීය ප්‍රවණතාවක් වර්ධනය වෙමින් තිබෙනවා. ඒ ගැන අපිත් මේ වන විට කතා කරනවා. මම දකින ආකාරයට මේවා යහපත් ප්‍රවණතා. මේ සංවාදයන් ඉදිරියට ගෙන යා යුතුයි. සමාජ මාධ්‍ය යම් ආකාරයකට කළමනාකරණය කළ යුතුයි, යම් ප්‍රමාණයකට අධීක්ෂණය කළ යුතුයි. ඒ වගේම නව යොවුන් දරුවන්ගේ වටිනාකම් කළමනාකරණය කර ගැනීමට යම්කිසි ආකාරයක මඟ පෙන්වීමක් අත්‍යවශ්‍යයි කියලා මම හිතනවා.
සමාජ මාධ්‍යවල අදහස් සහ කැමැත්තට අනුකූලව ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ ප්‍රබලයින් කටයුතු කරන බවට, තීන්දු – තීරණ ගන්නා බවට විපක්ෂයේ ප්‍රබල විවේචනයක් තිබෙනවා. සන්නිවේදන පර්යේෂකයෙක් ලෙස ඔබට මේ ගැන අදහසක් තිබෙනවා ද ?
මම පුද්ගලිකව තිබෙන්නේ වෙනත් අදහසක්. පසුගිය කාලයේ තමන්ට එරෙහි වන මතයකට පහර දෙනවා වෙනුවට අද වන විට මත කිහිපයකට සමාජ අවකාශය විවෘත කරලා තිබෙනවා. 2015 දී මෛත්‍රීපාල සිරිසේන බලයට පත් වන විට මේ රටේ ජනතාව අතර දූෂණ විරෝධී ප්‍රබල මතයක් තිබුණා. ඒ මතය තමයි 2015 දී යහපාලන ආණ්ඩුව බිහි කළේ. ඒ අනුව මූල්‍ය අපරාධ කොට්ඨාශය ඇතුළු දූෂණ විරෝධී විවිධ ආයතනන බිහි වුණා. අද අපි කතා කරන බහුතරයක් පරීක්ෂණ 2015 දී ආරම්භ කළ පරීක්ෂණ. ඒකෙන් පෙනුනේ මිනිස්සුන්ට විශාල පීඩනයක් තිබුණ බවයි. නමුත් යහපාලන ආණ්ඩුවට ඒ ගමන අවසන් කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් ජනතාව තුළ තිබුණ ඒ පීඩනය යටපත් වුණේ නැහැ. 2024 දී අනුර කුමාර දිසානායකට බලය ලැබුණේ, 2/3කට අධික පාර්ලිමේන්තු බලයක් ලැබුණේ මේ දූෂණ විරෝධී සමාජ පීඩනය නිසයි. මේ දූෂිත දේශපාලන ක්‍රමය වෙනස් කළ යුතු බව බහුතරයක් ජනතාව විශ්වාස කළ නිසයි.
2022 ජන අරගලයේ දී මුලින්ම තිබුණෙත් ඔබ ඔය කියන දූෂණ විරෝධය නේද ?
ඔව්, දූෂණ විරෝධය, ‘225ම එපා’ කියන සටන් පාඨය අරගලයේ දී ප්‍රධාන සටන් පාඨ බවට පත් වුණා. ජනතාව මේ වෙනස ඉල්ලා සිටියා. ඉතාම සක්‍රීය හා ප්‍රබල ලෙස මේ ඉල්ලීම ඉදිරිපත් වුණා. මේ පීඩනයේ ප්‍රකාශනය තමයි 2024 ජනපතිවරණ ජයග්‍රහණය. ඒක වෙනම කියවා ගත යුතුයි.
ඔබේ මේ අදහස තව දුරටත් පැහැදිලි කළ හැකි ද ?

ඇත්තටම මේ මැතිවරණය තුළ ප්‍රකාශට පත් වුණ සමාජ ප්‍රකාශනය, ජනමතයේ ප්‍රකාශනය වෙනත් තත්ත්වයක් සමඟ සැසදීමක් කළ නොහැකියි, ඒක වෙන තත්ත්වයක් වගේ නෙමෙයි. උදාහරණයක් ලෙස 1957 මැතිවරණයේ දී පුවත්පත් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළා, 1970 මැතිවරණයේ දී පුවත්පත අති විශාල භූමිකාවක් නිරූපණය කළා. 1977 මැතිවරණයේ දීත් පුවත්පත් සහ කාටූන් විශාල භූමිකාවක් ඉටු කළා. නමුත් පසුගිය මැතිවරණ වලදී මේ භූමිකාව ඉටු කළේ සමාජ මාධ්‍ය. සමාජයේ සියලුම කණ්ඩායම් වලට ආමන්ත්‍රණය කළ හැකි වන පරිදි අද සමාජ මාධ්‍ය වල ඉතාම පුළුල් විවිධත්වයක් තිබෙනවා.
නමුත් මේ විවිධත්වය තුළ සංකීර්ණ ගැටලු රැසක් තිබෙනවා නේද ?
ඔව්, සමාජ මාධ්‍ය තුළ අති සංකීර්ණ තත්ත්වයක් තිබෙනවා. බුද්ධිමය කතිකාව පුළුල් කරන දේවල් වගේම අසභ්‍ය හා අශ්ලීල දේවලුත් තිබෙනවා. විද්‍යාව වෙනුවට මිත්‍යාව වපුරනවා, ආගම, දර්ශනය වෙනුවට මිත්‍යා මතවාද ප්‍රවර්ධනය කිරීම සිදුවෙනවා. ඒ වගේම සමාජ මාධ්‍ය තුළ විවෘත කතිකාවකට අවස්ථාව ලැබෙනවා. අපි දකිනවා නීතිපතිවරයා සම්බන්ධ කතිකාවේ දී පක්ෂ – විපක්ෂ වශයෙන් සමාජ මාධ්‍ය තුළ පුළුල් සංවාදයක් සහ විසංවාදයක් සිදුවෙනවා. මේ තත්ත්වය තුළ ජනතාවට තීන්දුවක් ගන්න වඩාත් පහසු සහ බුද්ධිමත් අවස්ථාවන් නිර්මාණය කරනවා. ඔවුන්ට ප්‍රශ්න කරන්න පුළුවන්, දත්ත මත නිගමනවල එළඹෙන්න පුළුවන්. මේ හරහා නිර්මාණය වන විවෘත මනෝභාවයෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්.
මේ තත්ත්වය ආණ්ඩුවට පීඩනයක් ද ?
ඔව්, මේ තත්ත්වය ආණ්ඩුව යම්කිසි පීඩනයක්, තෙරපීමක් ඇති කළ හැකියි.
ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම්වරයෙක්. මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තත්ත්වය කොහොමද ?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට මැතිවරණ කොමසාරිස් පිළිගත්ත දේශපාලන පක්ෂයක් නෙවෙයි, ඒක අධිකරණය ඉදිරියේ තියෙන්නේ. අධිකරණ තීන්දුව ළඟදීම ප්‍රකාශයට පත්වෙන්න පුළුවන්. ඒ වගේම ඒ තීන්දුවට එරෙහිව තවත් අය අභියාචනා කරන්නත් පුළුවන්. ඒ නිසා ලේසියෙන් මේ කාරණාව නිරාකරණ වෙන්නේ නැහැ.
ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යුගය අවසානයි කියන එක ද ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගැටුම, මතවාදය සහ දෘෂ්ටිය තමයි අපි මේ කතා කරන බොහෝ දේවල්වල මූලික පදනම නිර්මාණය කළේ. 1956 දී මාටින් වික්‍රමසිංහ මහත්තයා කිව්වා ‘බමුණු කුලය බිඳ වැටුණා’ කියලා. එතකොට කිව්වා ‘ගස් ගෙඩියක් කඩන්න කොල්ලෙක් ඉතුරු වෙන්නේ නැහැ, ඔක්කොම පාර්ලිමේන්තු ඇවිල්ලා’ කියලා. 2024 මහ මැතිවරණයට සාපේක්ෂව 1956 මහ මැතිවරණයේ දී කවිකොළකාරයෝ, තැපැත් මහත්තුරු, සාමාන්‍ය ගොවියෝ, ඉස්කෝලේ මහත්තරු, සාමාන්‍ය වෘත්තිකයෝ වගේ අය පාර්ලිමේන්තුවට ආවා. ඒක වෙනම කතිකාවක්, 1956 මහ මැතිවරණට පෙර තිබුණ තත්ත්වය අනුව විශාල පෙරළියක්. මිනිස්සු පාර්ලිමේන්තුවට ඇවිත් කිව්වා ‘දැන් මේක අපේ’ කියලා. ඒක ‘අපේ ආණ්ඩුවක්’ බවට පත් වුණා. එදාට සාපේක්ෂකව ඒක මහ විශාල ජයග්‍රහණයක්. බණ්ඩාරනායක මහත්තයා තමන්ගේ ඥාතීන් ආණ්ඩුවට ගත්තේ නැහැ. ඒ වගේම දූෂණ චෝදනා එල්ල වුණ ඇමැතිවරු එළියට දාලා තියෙනවා. බණ්ඩාරනායක මහත්තයට අවශ්‍ය වුණා යම් ආකාරයකට වංචවෙන් සහ දූෂණයෙන් තොර පාලනයක් ගෙනියන්න. සමාජවාදය වෙත ක්‍රමික ගමනක් යන්න. ඒ නිසා තමයි බස් ජනසතුව වාගේ දේවල් කළේ. වරාය ජනසතු කරන්න සැලසුම් කළේ. එදා බුද්ධරක්ඛිතට අවශ්‍ය වුණේ නැව් සමාගමක් හදන්න. බණ්ඩාරනායක මහත්තයා ඒකට උදව් නොකළ නිසා තමයි බුද්ධරක්ඛිත බණ්ඩාරනායක මහත්තයව ඝාතනය කරන්න සැලසුම් කළේ.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ඔබගේ අදහස කුමක් ද ?
ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මුලින්ම කතා කළේ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතත්යා. එතුමා 1930 ගණන්වල සිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කළා. එතුමා උඩු නුවර ආසනයට ඇවිත් අත්හදා බැලීමක් පවා කළා. ඒත් එතුමට නිදහස් අධ්‍යාපන පනත ගේන්න ලේසි වුණේ නැහැ. ඩී.එස්. සේනානායක පිටරට ගියාට පස්සේ තමයි නිදහස් අධ්‍යාපන පනත සම්මත කර ගත්තේ. ඒත් ඊළඟ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය එතුමව පරාජය කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, විශේෂයෙන් බණ්ඩාරනායක මහත්තයා 1956 දී ගත් සෑම පියවරක්ම ප්‍රගතිශීලී ද ?
කන්නන්ගර මහතත්යා නිදහස් අධ්‍යාපනය හඳුන්වා දුන්නත් නිදහස් අධ්‍යාපනය අර්ථාන්විත කළේ 1956 දී බලයට පත් වුණ බණ්ඩාරනායක මහත්තයා. මධ්‍ය විද්‍යාල වලින් බිහිවුණ තරණ පරම්පරාවට විද්‍යොදය සහ විද්‍යාලාංකාර විශ්වවිද්‍යාල බිහි කරලා අවස්ථා පුළුල් කළේ බණ්ඩාරායක මහත්තයා. මේ විශ්වවිද්‍යාල දෙක හැඳින්වුණේ ‘ස්වභාෂා විශ්වවිද්‍යාල’ කියලා. සිංහල භාෂාවෙන් උගන්වන්න බැහැ කියලා කිව්ව ආර්ථික විද්‍යාව, රසායන විද්‍යාව, භූගෝල විද්‍යාව සිංහල භාෂාවෙන් උගන්වන පුරෝගාමී භූමිකාව ඉටු කළේ විද්‍යොදය සහ විද්‍යාලංකාර විශ්වවිද්‍යාල දෙක. ආර්ථික විද්‍යාව සිංහල භාෂාවෙන් ඉගැන්වීමට පුරෝගාමියා වුණ එෆ්.ආර්. ජයසූරිය මට මගේ පළමු වසරේදී හමු වුණා. ගම්වලින් පැමිණි තරුණයින්ට ඉහළට යන්න පාර හැදුවේ මේ අය. මගේ කියවීම අනුව වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක වැනි රාජ්‍ය නායකයින් බිහිවීමේ පදනම දැම්මේ බණ්ඩාරනායක මහත්තයා කළ මේ අත්හදා බැලීමයි.
සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම මතභේදාත්මක තීන්දුවක් නේද ?
එතුමා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව නොකරන්න, විද්‍යොදය සහ විද්‍යාලංකාර විශ්වවිද්‍යාල ආරම්භ නොකරන්න මේ වගේ පරම්පරාවක් බිහිවෙන්නේ නැහැ.
සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කළා නේද ?

ඔව්, 1962 දී සියලුම පෞද්ගලික පාසල් රජයට පවරා ගත්තා. ඒ යටතේ කතෝලික, බෞද්ධ, හින්දු සහ ඉස්ලාම් සමාගම් යටතේ පාලනය වුණ සියලුම පාසල් රජයට පවරා ගෙන එකම විෂය නිර්දේශයක් යටතේ අධ්‍යාපනය ලබාදීම ආරම්භ කළා. නමුත් 1977 දී බලයට පත් වුණ එක්සත් ජාතික පක්ෂය ඒ සියල්ල ආපසු හැරෙව්වා. වර්තමානය වන විට ලංකාව ඇතුළේ, ශ්‍රී ලංකා විෂය නිර්දේශය, ඇමෙරිකානු විෂය නිර්දේශය, මහා බ්‍රිතාන්‍ය විෂය නිර්දේශය වගේම මද්‍රසා විෂය නිර්දේශය ඇතුළු විෂය නිර්දේශ හතරක් උගන්වනවා. මේ හරහා අපේ අධ්‍යාපනය විශාල අවුලක පැටලිලා තියෙන්නේ. රජයේ පාසල් එක නිර්දේශයක් උගන්වන විට අනෙක් පාසල් වලට මොකද වෙන්නේ ?. ශ්‍රී ලාංංකික පුරවැසියෙක් හදන අධ්‍යාපන ක්‍රමයක් වෙනුවට අපට තියෙන්නේ අමෙරිකන්කාරයෙක් හදන අධ්‍යාපන ක්‍රමයක්, අරාබි ජාතිකයෙක් හදන අධ්‍යාපන ක්‍රමයක්.
ඔබ මේ තර්ක කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භූමිකාව තව දුරටත් වැදගත්, වලංගුයි කියන්න ද ?
ඔව්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භූමිකාව එදාට වඩා අද හරි වැදගත්. නමුත් අපි නිර්මාණශීලී විය යුතුයි. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කියලා, ශ්‍රී ලංකා නිදහස් පකෂය රැක ගන්න කියලා කෑගහන මිනිස්සු අරයගේ මෙයාගේ පස්සේ වැටිලා පාර්ලිමේන්තු යන්න උත්සාහා කරනවා මිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දාර්ශනික පදනම, දෘෂ්ටිය තේරුම් ගන්නේ නැහැ. මම පුද්ගලිකව හිතනවා 2022 ජන අරගලයෙන් වුණ දේවල්, එහි දෘෂ්ටිවාදය වෙනම ම කියවන්න ඔ්නෑ කියලා. ඒක වෙනම ම කියවිය යුතු කතාවක්. නමුත් අපි 1956 හරියට කියෙව්වේ නැහැ, ඒ වගේම 2022 ජනඅරගලයත් හරියට කියෙව්වේ නැහැ.
2024ත් ඒ වගේම වැදගත් නේද ?
ඔව්, 2024 ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය අපි හරියට කියවන්න ඔ්නෑ. ඒ මැතිවරණය තුළ ප්‍රකාශ වුණේ කුමක් ද ?, ඇයි ජනතාව වෙනසක් ඉල්ලුවේ, ඇයි දැවැන්ත පක්ෂ, දැවැන්ත මිනිස්සු පාර්ලිමේන්තුවෙන් පළවා හැරියේ, දැවැන්ත ප්‍රතිරූප බිඳ වැටුණේ කොහොම ද ?. මේක 1956 වගේමයි. 56 දීත් එක්සත් ජාතික පක්ෂයේ දැවැන්තයෝ ගෙදර ගියා. එදා වගේම 2024 දීත් එක්සත් ජාතික පක්ෂයේ, පොහොට්ටුවේ, ශ්‍රී ලංකා නිදස් පක්ෂයේ දැවැන්තයෝ පරාජයට පත් වුණා. ඒ නිසා 2024 නැවත කියවිය යුතුයි. මේ ආපු මිනිස්සුන්ගේ මතවාදය, සංකල්පය, දෘෂ්ටිය මිනිස්සු තවමත් ඉල්ලනවා.
ඒත් ආණ්ඩු විරෝධයක් ක්‍රමයෙන් වර්ධනය වෙනවා නේද ?, සමූපකාර ඡන්ද බහුතරයක් ආණ්ඩුව පරාජයට පත්ව තිබෙනවා නේද ?
ඔව්, විපක්ෂය යම් උත්සාහයක් දරමින් සිටිනවා. යම්කිසි රැල්ලක් හදලා සමාජය තුළ යම් තැති ගැන්මක් හදන්න පුළුවන් ද කියලා විපක්ෂය කල්පනා කරනවා. නමුත් ඒක කරනන් පුළුවන්කමක් නැහැ. විපක්ෂය ආණ්ඩුවට එරෙහිව කරන විවේචන දකින කොට අපට ඇත්තම තත්ත්වය වටහා ගන්න පුළුවන්. තාර්කික විවේචනයක් විපක්ෂය කරන්න හැකියාවක් නැහැ. විපක්ෂයට තාර්කික දැක්මක් නැහැ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව විපක්ෂයේ විරෝධය හොඳම උදාහරණයක්. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විපක්ෂය කිසිම අවස්ථාවක තාර්කික මතයක් ඉදිරිපත් කළේ නැහැ.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ ඔබේ පුද්ගලික අදහස කුමක්ද ?
මේ කාරණා සම්බන්ධයෙන් සංවාදයක් තිබිය යුතුයි. මෙහි සාධනීය යෝජනා තිබෙනවා. ඒ නිසා මේ සංවාදය තව දුරටත් ඉදිරියට ගෙන යා යුතුයි. විද්වතුන්, වෘත්තිකයින්, ගුරුවරුන්, වෘත්තීය සමිති සහ දෙමාපියන් ද ඇතුළත් පුළුල් සංවාදයක් ආරම්භ කළ යුතුයි. දේශපාලනඥයින් මේ ගැන මනාව අධ්‍යයනය කළ යුතුයි. අවස්ථාවාදී සහ හරසුන් අදහස්, මතවාද වෙනුවෙන් පෙනී නොසිටිය යුතුයි. දේශපාලනය කරනවා නම් ගැඹුරින්, දාර්ශනිකව, මතවාදී පදනමක් සහිතව දේශපාලනය කළ යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුල් නිර්මාතෘවරු අපට මේක පෙන්වා දී තිබෙනවා.
රතුඉර පුවත්පතේ 2026 පෙබරවාරී 08 වැනි දින ප්‍රකාශයට පත්කරන ලද ලිපියකි.
සටහන – භාතිය බරුකන්ද















