ශ්‍රී ලංකා – කියුබානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය සහ ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිවරිය අතර සාකච්ඡාවක්

ශ්‍රී ලංකා – කියුබානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ඇතුළු එම සංගමයේ සාමාජිකයන් සහ ශ්‍රී ලංකාවේ කියුබානු ජනරජයේ තානාපතිනි ගරු පැට්‍රීෂියා ලාසාරා පෙගෝ ගුවේරා මහත්මිය (Patricia Lázara Pego Guerra) අතර සාකච්ඡාවක් පසුගියදා (මැයි 20) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.     

මෙහිදී, ශ්‍රී ලංකා – කියුබානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ඉදිරි ක්‍රියාකාරකම් මෙන්ම දෙරට අතර දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පවතින අවස්ථා පිළිබඳව අවධානය යොමු විය.

ශ්‍රී ලංකාව සහ කියුබාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සමීප සබඳතා සිහිපත් කරමින්, පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රිකභාවය වැඩි දියුණු කිරීමේ සහ දෙරටේ ව්‍යවස්ථාදායකයන් අතර ප්‍රජාතන්ත්‍රවාදී සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම ශ්‍රී ලංකා – කියුබානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති, ගරු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා මෙහිදී පැහැදිළි කළේය.

මෙහිදී අදහස් දැක්වූ  තානාපතිනි පැට්‍රීෂියා ලාසාරා ගුවේරා මහත්මිය, සෞඛ්‍ය සේවා, ක්‍රීඩා, කෘෂිකර්මාන්තය සහ දේශගුණික විපර්යාස ඇතුළු ප්‍රධාන අංශ ගණනාවක ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා කටයුතු කරන බව ප්‍රකාශ කළාය. ශක්තිමත් අන්තර් -පාර්ලිමේන්තු සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා කියුබානු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ද කැපවන බව  ඇය සඳහන් කළාය.

සමීප සබඳතා සහ සාකච්ඡා වර්ධනය කිරීමේ අරමුණින් දෙරටේ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගම්වල සාමාජිකයින් අතර මාර්ගගත ක්‍රමය ඔස්සේ සාකච්ඡාවක් සංවිධානය කිරීමට කටයුතු සූදානම් කරමින් සිටින බව තානාපතිවරිය වැඩිදුරටත් පැවසුවාය. කියුබානු නායක ෆිදෙල් කැස්ත්‍රෝගේ ජන්ම දින ශත සංවත්සරය සැමරීම සඳහා සංවිධානය කරනු ලබන අනුස්මරණ උත්සව වලට සහභාගී වන ලෙස ද ඇය ගරු මන්ත්‍රීවරයන්ට ආරාධනා කළාය.

ශ්‍රී ලංකාවෙන් කියුබාවට ජාත්‍යන්තර මට්ටමින් සහයෝගය ලබා දිය හැකි ක්ෂේත්‍ර පිළිබඳව ද පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජිකයෝ මෙහිදී අදහස් පළ කළහ.

තානාපතිවරිය කියුබාවේ වත්මන් තත්ත්වය සහ අභියෝග පිළිබඳව ද ශ්‍රී ලංකා – කියුබානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජිකයින් දැනුවත් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website