හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදාළ විමර්ශන කටයුතු මාසයක් තුළ අවසන් කර මාර්තු මස නඩු පැවරීමට කටයුතු කරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අද (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ය.
රුපියල් ලක්ෂ 166කට අධික රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන මෙම නඩුකරය කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර ඉදිරියේ කැඳවූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මෙම දැනුම් දීම සිදු කළේ ය.
සැකකාර රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු සියයට අනූවක් පමණ මේ විට සම්පූර්ණ බවත් මාසයකින් පමණ විමර්ශන කටයුතු අවසන් කර මාර්තු මස නඩු පැවරීමට කටයුතු කරන බවත් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කරුණු දැක්වීය.
මෙම නඩුව මහාධිකරණයේ නොව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලක් ඉදිරියේ ගොනු කිරීමට තමා නීතිපතිවරයාට යෝජනා කර තිබෙන බවත් මෙහිදී ඔහු පැවසීය.
එම අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක කරුණු දක්වමින් සඳහන් කළේ, ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු පැවරීම සම්බන්ධයෙන් තීරණය කළ යුත්තේ නීතිපතිවරයා බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයාට එම තීරණයක් ගත නොහැකි බවත් ය.
ඊට ප්‍රතිචාර දක්වමින් දිලීප පීරිස් කියා සිටියේ, තමා අද දින අධිකරණය හමුවේ ඉදිරිපත් කරන්නේ නීතිපතිවරයාගේ මතය බව ය.
අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඉදිරිපත් කරන කරුණු නීතිපතිවරයාගේ මතය වශයෙන් තම අධිකරණය ද පිළිගන්නා බව එහිදී මහේස්ත්‍රාත්වරයා පැවසීය.
අනතුරුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට යළි අප්‍රේල් මස 29 වන දා පෙනී සිටින මහේස්ත්‍රාත්වරයා නියම කළේ ය.















