‘ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහන යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ වෙහෙර විහාරස්ථාන ප්‍රතිසංස්කරණය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

ගිලිහී යන සාරධර්ම යළි කැඳවාගෙන ඒමට සියලු ක්ෂේත්‍රවල  – නව පුනරුදයක් අවශ්‍යයි  – ජනපති

ආණ්ඩුවක වගකීම ජනතාව බලා ගැනීම බවත්, රටක් ලෙස අත්කර ගන්නා සියලු ආර්ථික ප්‍රතිලාභ ජනතාව සහ සමාජය වෙත ගලා යාමට සැලැස්වීමෙන් රජය මේ වන විට එම කාර්යය ආරම්භ කර තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත් දිවයින පුරා ආගමික සිද්ධස්ථාන යළි ගොඩනැඟීමේ ‘ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහන මාතලේ දිස්ත්‍රික්කය තුළ ආරම්භ කිරීමේ අවස්ථාවට අද (27) පස්වරුවේ මාතලේ කවටයාමුණ පුරාණ රජමහා විහාරස්ථානයේදී  එක් වෙමිනි.

ආර්ථික වශයෙන් මෙන්ම සමාජයීය සහ සංස්කෘතික  වශයෙන්ද දියුණු වූ රටක් ගොඩනැගිය  යුතු බවත්, සමාජය තුළ ගිලිහී යන සියලු සදාචාරාත්මක ගුණාංග යළි කැඳවාගෙන ඒම වෙනුවෙන් රටේ සියලු ක්ෂේත්‍රයන්හි නව පුනරුදයක් ඇති කළ යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එහිදී ගම සහ ආගමික සිද්ධස්ථාන අතර සබැඳියාව යළි තහවුරු කිරීම ඉතා වැදගත් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා  සියලු ආගමික සිද්ධස්ථාන සුරක්ෂිත කර දීමේ වගකීම රජය ඉටු කරන බවද සඳහන් කළේය.

දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වු දිවයින පුරා ආගමික සිද්ධස්ථාන යළි ගොඩනඟන අතරම ග්‍රාමීය ප්‍රදේශවල ආර්ථික අපහසුතා ඇති සහ අනෙකුත් දුෂ්කරතාවලින් පෙළෙන තෝරාගත්  ආගමික සිද්ධස්ථාන සංවර්ධනය සඳහා රජයෙන් දායකත්වය ලබා දෙන වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

මාතලේ නගරයේ සිට කිලෝමීටර් නවයක් පමණ දුරින් මාතලේ දඹුල්ල ප්‍රධාන මාර්ගයටත් මාතලේ ගලේවෙල මාර්ගයටත් අතර පිහිටි ඓතිහාසික කවටයාමුණ රජ මහා විහාරය සමස්ත බෞද්ධ ජනතාවගෙත්, විදෙස් බැතිමතුන්ගෙත් ගෞරවාදරයට බඳුන් වූ අතිපූජනීය විහාරස්ථානයකි.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ ආගමික සිද්ධස්ථාන 51කට පුර්ණ හානි සහ අර්ධ හානි සිදු විය. එම ආගමික සිද්ධස්ථාන යළි ගොඩනැඟීමේ සහ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම සංකේතවත් කරමින් කවටයාමුණ පුරාණ රජමහා විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website