බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය මඟින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී, දෙහිවල ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට සහ තවත් වෙඩි තැබීමකට සම්බන්ධ ප්‍රධාන සැකකරු විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වර් අවියක් ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (23) දහවල් කොට්ටාව පොලිස් වසමේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු 35 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු මීට පෙර යුධ හමුදාවේ සේවය කර 2013 වර්ෂයේදී නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වූ අයෙකු බව අනාවරණය වී ඇත. සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු මත, දෙහිවල පොලිස් වසමේ පාළු නිවසක සඟවා තිබූ අපරාධයට යොදාගත් විදේශීය රිවෝල්වර් අවිය සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබේ.
මෙම සැකකරු පසුගිය 2025 දෙසැම්බර් 06 වන දින දෙහිවල වනරත්න පාරේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියේ දෙවන වෙඩික්කරු ලෙස හඳුනාගෙන ඇත. එම අපරාධයට සම්බන්ධ අනෙක් සැකකරු මීට පෙර බෝර 16 අවියක් සමඟ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි. ඊට අමතරව, 2025 දෙසැම්බර් 30 වන දින කොහුවල, බෝධිවත්ත ප්‍රදේශයේදී 16 හැවිරිදි දැරියකට වෙඩි තබා තුවාල සිදුකිරීමේ සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු ලෙස ක්‍රියා කර ඇත්තේද මොහු බව විමර්ශනවලදී තහවුරු වී ඇත.
පොලිස් විමර්ශනවලට අනුව මෙම වෙඩි තැබීම් ද්විත්වයම දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙහෙයවීම මත සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු අද (24) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන මෙහෙයවයි
















