
පෙබරවාරි මස 07 වැනිදා ආරම්භ වන මීළඟ විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගය පැවැත්වෙන කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයට ලෝක කුසලානය ගෙන ඒම සහ එය ප්‍රථම වතාවට මාධ්‍යයට නිරාවරණය කිරීමේ උත්සවය අද (23) මේ ක්‍රීඩාංගණයේ දී ම සිදු කෙරිණි. මෙම චාම් උත්සවය අද සිදු කෙරුණේ ශ්‍රී ලංකා විස්සයි 20 ක්‍රිකට් නායක දසුන් ශානක සහ දඟපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණගේ සහභාගිත්වයෙනි.
එස්.එස්.සී. ක්‍රීඩාංගණයට රැගෙන එන ලද විස්සයි 20 ලෝක කුසලානය ඉදිරි දින කිහිපයේ දී මෙරට උතුරු නැගෙනහිර ඇතුළු ප්‍රදේශ ගණනාවකට ගෙන ගොස් මහජන ප්‍රදර්ශනය සඳහා තැබීමට ද නියමිතය. එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ දී ප්‍රථම වරට විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වෙන තරග කිහිපය සඳහා එස්.එස්.සී. ක්‍රීඩාංගණය ද සති කිහිපයක සිට ම මේ වන විට නවීකරණය වෙමින් පවතී.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 21 වැනිදා ආරම්භ වූ මෙම ලෝක කුසලාන සංචාරයේ මූලික අරමුණ වන්නේ ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව රටේ ජනතාව තුළ උද්‍යෝගය හා වැඩි ප්‍රේක්ෂක අවධානයක් ගොඩනැගීම බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඒ අනුව දෙවැනි දිනය වූ ජනවාරි 21 වැනිදා පැරෂුට් ආධාරයෙන් ලෝක කුසලානය ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වුණු පළමු තරගයට පෙර තරගය පැවැති කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය වෙත ගොඩ බැස්සවීමට කටයුතු යෙදීමද බොහෝ දෙනාගේ දැඩි පැසසුමට ලක් වුණු කාර්යයක් බවට පත්විය.
ලෝක කුසලානය එස්.එස්.සී. ක්‍රීඩාංගණය වෙත රැගෙන ඒමේ උත්සව අවස්ථාවේ දී අදහස් දැක් වු ශ්‍රී ලංකා විස්සයි 20 නායක දසුන් ශානක වසර දාහතරකට පසුව ලෝක කුසලාන තරගාවලියක තරග රැසක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත වන අතර මෙමගින් ශ්‍රී ලංකා කණ්ඩායමට අවසාන තරගයට සහභාගිවීමට ද අවස්ථාවක් උදා වනු ඇතැයි තමා විශ්වාස කරන බව ද පැවසීය.
ශ්‍රී ලංකාවේ දී මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියෙන් අත්දැකීම් ලබා ගන්නා ශ්‍රී ලංකා ක්‍රීඩකයනට ඉදිරි විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට එය හොඳ පසුබිමක් බවට පත්කර ගැනීම ද හැකියාවක් පවතින බව ද දසුන් ශානක කීවේය.
ශ්‍රී ලංකාව සතු දර්ශණීය මෙන්ම උසස් ම මට්ටමේ ක්‍රීඩාංගණයක් වන එස්.එස්.සී. ක්‍රීඩාංගණයට දිවා රාත්‍රී තරග පැවැත්වීමට අවස්ථාව සැළසෙන පරිදි දිවා රාත්‍රී විදුලි පහසුකම් සළසා දීම පිළිබඳව දසුන් ශානක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත සිය ස්තුතිය ද මෙහි දී පළ කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් වසර ගණනාවක සිට ම තම කණ්ඩායම සමගම රැඳී සිටි පිරිසක් බව සාඩම්බරයෙන් ප්‍රකාශ කළ හැකි බව පැවසු ශ්‍රී ලංකා විස්සයි 20 ක්‍රිකට් නායකයා ශ්‍රී ලාංකිකයන් සැම ගේ අපේක්ෂාව වී ඇත්තේ ලෝක කුසලානය තම මව්බිමේ ම රඳවා තබා ගැනීම බව ද කීවේය.
මූලාශ්‍රය – srilankacricke.lk
















