අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) මෝටර් රථ හුවමාරු අංශයේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක් අත්අඩංගුවට ගෙන තිබේ.
දැනට මුදල් අමාත්‍යාංශයේ වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ සේවය කරන සැකකාරිය ඊයේ (12) අත්අඩංගුවට ගෙන ඇත. 2017 පෙබරවාරි මාසයේදී (GZ–6889) මෝටර් රථයක් නීති විරෝධී ලෙස මාරු කිරීම සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයකින් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති ඇත.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකාරිය ඇප මත නිදහස් කර ඇත.
මේ අතර රුපියල් 50,000ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවයේ නියුතු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු සහ ගුරු උපදේශකවරයෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිෂම පැවසීය.
මේ සම්බන්ධයෙන් කොමිෂම නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන් විය, “දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිල්කරු සේවය අතහැර යාම නිසා නැවත ඔහු සේවයේ පිහිටුවා අධ්‍යාපන අමාත්‍යංශය මඟින් දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන කාර්යාලයට කර තිබූ අනුයුක්තය දීර්ඝ කර ගැනීමට අවශ්‍ය කටයුතු කර දීම සඳහා අල්ලස් වශයෙන් රුපියල් පනස්දහසක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගැනීමේ චෝදනාව මත දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවයේ නියුතු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු සහ ගුරු උපදේශකවරයෙකු 2026.02.10 වන දින පිළිවෙළින් ප.ව.3.45ට සහ ප.ව. 3.25 ට පමණ දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන කාර්යාලය තුළ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි”.
ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ විශ්‍රාමික ප්‍රධාන ඉංජිනේරුවරයෙකු, යාන්ත්‍රික ඉංජිනේරුවරයෙකු සහ සෙනොක් ට්‍රේඩ් කම්බයින් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ සහකාර කළමණාකාර අධ්‍යක්ෂවරයෙකු (අලෙවි හා සැපයුම්) දූෂණ වරද මත අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිෂම පවසයි.
ඒ සම්බන්ධ නිවේදනය පහත දැක්වේ, “ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන පුනරුදය 2016/2018 ප්‍රතිපාදන යටතේ සංස්ථාව මගින් කෙරවලපිටිය කසල අංගනයේ යෙදවීම සදහා Long arm Excavators යන්ත්‍ර දෙකක් මිලදි ගැනිමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදි තෝරාගත් ආයතනය විසින් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කරන ලද යන්ත්‍රයක් මෙරටට ආනයනය කර, එම ආයතනය විසින් යන්ත්‍ර වල කොටස් ගලවා ඒ වෙනුවට වෙනත් අමතර කොටස් සවිකර නවීකරණය කර සැපයීමේ හා නිසි පරික්ෂාවකින් තොරව එම යන්ත්‍ර භාර ගැනිම තුලින් රජයට රුපියල් මිලියන 41 ක පාඩුවක් සිදු කිරිමෙන් දුෂණය නම් වරද සිදුකිරීමේ චෝදනාව මත ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරිමේ සංස්ථාවේ විශ්‍රාමික ප්‍රධාන ඉංජිනේරුවරයෙකු, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරිමේ සංස්ථාවේ යාන්ත්‍රික ඉංජිනේරුවරයෙකු සහ සෙනොක් ට්‍රේඩ් කම්බයින් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ සහකාර කළමණාකාර අධ්‍යක්ෂවරයෙකු (අලෙවි හා සැපයුම්) 2026.02.10 වන දින පිළිවෙලින් ප.ව.1.30 , ප.ව.1.35 සහ ප.ව.1.40 ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.”
ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරීවරයෙකු (පාරිභෝගික හා වත්කම් කළමණාකරණ තනතුර ආවරණ) සහ ව්‍යාපාරිකයෙකු දූෂණ වරද සහ දූෂණ වරද සිදුකිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට.
“ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයේ සභාපතිවරයාගේ පරිහරණය සඳහා රජයේ වාහන දෙකක් යොදවා තිබිය දී එම මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කර ඇති මහනුවර උතුර පාතදුම්බර ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් මුදලින් කුලී ගෙවීමේ පදනම මත ටොයෝටා ප්‍රාඩ්‍රෝ (Toyota Prado) වර්ගයේ (SUV) ජීප් රථයක් කුලී පදනම මත ලබාගෙන, එම වාහනය කුමන කටයුත්තක් සඳහා ධාවනය කළාද යන්න පිළිබඳව තහවුරු කරගැනීමකින් තොරව, කුලී මුදල් වශයෙන් රු.12,750,000/- ක පමණ මුදලක් ගෙවීමට කටයුතු කිරීමෙන් රජයට පාඩුවක් සිදු කිරීමෙන් හා පී.එන් ඔටෝ හෝල්ඩින් නැමැති ආයතනයෙන් එකී වාහනය සපයා ගැනීමේ අරමුණින් ප්‍රසම්පාදන රීති නොසලකා හරිමින් කටයුතු කර එම ආයතනය වෙත කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කටයුතු කර වාහනය නිසි ලෙස භාරගැනීමක් සිදු නොකර සැපයුම්කරුට මුදල් ගෙවීමෙන් සැපයුම්කරුට අයුතු වාසියක් සිදු කිරීමෙන් දූෂණය නම් වරද සහ එම වරද සිදු කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරීවරයෙකු (පාරිභෝගික හා වත්කම් කළමණාකරණ තනතුර ආවරණ)සහ ගම්පහ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු 2026.02.10 වන දින ප.ව.1.35 ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි”.











