ළමා ශ්‍රමය තුරන් කිරීම සඳහා ඇති ප්‍රධාන විසඳුම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයයි – නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ

ළමා ශ්‍රමය හුදකලා ගැටලුවක් නොව විවිධ යටින් පවතින සාධක සමඟ බැඳී ඇති සමාජ ගැටලුවක් බැවින් නිසි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකින් පමණක් එය සම්පූර්ණයෙන්ම පාලනය කළ හැකි බව ශ්‍රී ලංකා කම්කරු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.

ඊයේ (12) මොරොක්කෝවේ මැරකේෂ් හි පැවති ළමා ශ්‍රමය තුරන් කිරීම පිළිබඳ 6 වන ජාත්‍යන්තර සමුළුවේ කොටසක් ලෙස පැවති ඉහළ මට්ටමේ මණ්ඩල සාකච්ඡාවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් සිය අදහස් ඉදිරිපත් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසුවේය. ශ්‍රී ලංකාවේ වාර්ෂිකව වාර්තා වන ළමා ශ්‍රමික සිදුවීම් සංඛ්‍යාව 10කටත් වඩා අඩුය. අතීතයේ දී රට මුහුණ දුන් විවිධ අර්බුද මධ්‍යයේ වුව ද, ශ්‍රී ලංකා රජය දරුවන්ගේ අධ්‍යාපනය සහ මූලික අවශ්‍යතා සඳහා ප්‍රමුඛත්වය දී තිබේ. විශේෂයෙන් අර්බුදකාරී කාලවලදී, සිසුන් නැවත පාසලට පැමිණීම සහතික කිරීම සඳහා නොමිලේ පාසල් සැපයුම්, ලිපි ද්‍රව්‍ය සහ නිල ඇඳුම් ඇතුළු විශේෂ ආධාර වැඩසටහන් රජය ක්‍රියාත්මක කර ඇත.

ළමා ශ්‍රමය තුරන් කිරීම සඳහා දිගුකාලීන යාන්ත්‍රණයක් ලෙස, 2026 සිට ශ්‍රී ලංකාව තුළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කර ඇත. මේ යටතේ, වෘත්තීය කුසලතා සංවර්ධනය අධ්‍යයන විෂය මාලාව සමඟ ඒකාබද්ධ කරන ද්විත්ව මාර්ග අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දී ඇත. මෙම ප්‍රතිසංස්කරණ හරහා, සිසුන්ට අනාගත රැකියා වෙළඳපොළට අවශ්‍ය සුදුසුකම් ඔවුන් තවමත් ඉගෙනුම ලබන අතරතුර ලබා ගැනීමට හැකි වන අතර දරිද්‍රතාවය හේතුවෙන් සිසුන් පාසලෙන් ඉවත් වීම වළක්වනු ඇත.

තව ද, ඩිජිටල්කරණය ඵලදායිතාව වැඩි කර ඇති අතර, නවීන තාක්ෂණික වර්ධනයන් මගින් එල්ල වන අභියෝග අතර, ළමුන් අන්තර්ජාලය හරහා සූරාකෑම පිළිබඳ කනස්සල්ල ද මතු කර තිබේ. මේ සඳහා විසඳුම් සෙවීම සඳහා ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය සහ පොලිස් දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකක විසින් නිරීක්ෂණ කටයුතු තීව්‍ර කර ඇති අතර, ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහාය ඇතිව ඩිජිටල් ආරක්ෂක යටිතල පහසුකම් ශක්තිමත් කරමින් පවතී.

 

පවුලේ ආදායම වැඩි කිරීම, වැඩිහිටියන්ට යහපත් රැකියාවක් සහතික කිරීම සහ ශක්තිමත් සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම රජයේ ප්‍රමුඛතා ලෙස සලකනු ලබන බව ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website