ආණ්ඩුව පරණ වෙන්න පරණ වෙන්න ආර්ථික ප්‍රශ්න ආදි වෙනත් ප්‍රශ්න ප්‍රමුඛතා බවට පත් වෙනවා –  – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ජනාධිපති නීතිඥ

ශ්‍රී ලංකාව නිදහස දිනා ගත් දා සිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුනක් යටතේ පාලනය වී තිබෙනවා. එසේම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමේ උත්සාහයන් කිහිපයකුත් තිබෙනවා. මේ වන විට යළිත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන සාකච්ඡාවක් තිබෙනවා. ඇත්තටම ලංකාව මේ ආකාරයෙන් දිගින් දිගටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අත්හදා බලන්නේ ඇයි ?

මම හිතන ආකාරයට අපට අවස්ථා කිහිපයක්ම මඟ හැරුණා. මේ අතර ස්වර්ණමය අවස්ථා දෙකක් මම දකිනවා. ඒ 1972 ව්‍යවස්ථාව සහ 2000 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතයි. 1972 ව්‍යවස්ථාව ස්වර්ණමය අවස්ථාවක් කියන්න හේතු කිහිපයක් තිබෙනවා. 1972 ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට සියලුම දේශපාලන පක්ෂ එකතු වෙලා  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් හැදුවා. ඒකට එක්සත් ජාතික පක්ෂය සහ පෙඩරල් පක්ෂයත් සම්බන්ධ වුණා. සමගි පෙරමුණ ආණ්ඩුවට 2/3ක බලයක් තිබුණා. මේ වන විට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුර 151යි තිබුණේ. මේ සියලුම මන්ත්‍රීවරු පළමු වැනි රැස්වීමට සම්බන්ධ වුණා. ඒ අවස්ථාවේ සියලු දෙනාටම එකඟ වෙන්න පුළුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න පුළුවන් වෙයි කියලා විශාල බලාපොරොත්තුවක් තිබුණා.

ඔබ දකින ආකාරයට 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබුණ සාධනීය ලක්ෂණ මොනවා ද ?

මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සාධනීය ලක්ෂණ රැසක් තිබුණා. වැදගත්ම සාධනීය ලක්ෂණය තමයි මේ ව්‍යවස්ථාවෙන් අපි බ්‍රිතාන්‍ය කිරීටයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා ජනරජයක් බවට පත් වුණා. ඒ වගේම ඉතිහාසයේ පළමු වැනි වරට මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් වුණා. ඒ වගේම රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ මූලධර්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම වැනි සාධනීය ලක්ෂණ රැසක් 1972 ව්‍යවස්ථාව තුළ තිබුණා. නමුත් ආපසු හැරී බලන විට 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනයේ දී එදා සමගි පෙරමුණ විසින් ඔවුන්ට තිබුණ 2/3ක බලය සෙසු දේශපාලන පක්ෂ මත පැටෙව්වා කියලා මම විශ්වාස කරනවා.

1972 ව්‍යවස්ථාව සම්පාදනයේ දී එවකට ක්‍රමයෙන් වර්ධනය වෙමින් පැවැති ජාතික ගැටලුව ගැන අවධානයක් යොමු කළා ද ?

ව්‍යවස්ථා සම්පාදන කමිටුවේ ප්‍රධාන වගකීමක් දැරූ කොල්වින් ආර් ද සිල්වා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ පළමු වැනි යෝජනාවේ ශ්‍රී ලංකාව ‘ඒකීය රාජ්‍යයක්’ ලෙස විස්තර කරලා තිබුණේ නැහැ. ඔහු කිව්වා, ‘අපි හදන ව්‍යවස්ථාවේ රාජ්‍ය ඒකීය තමයි, නමුත් ඒක විශේෂයෙන් කියන්න යන්න එපා, ඊට පස්සේ නම්‍යශීලී වෙන්න ඉඩ තියලා කරමු’ කියලා. නමුත් එවකට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි ආචාර්ය නිහාල් ජයවික්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට සම්බන්ධ වෙලා හිටියා. ඒ අවස්ථාවේ අධිකරණ අමාත්‍යවරයාව සිටි ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක කිව්වා, ‘ඒකීය කියන වචනය දැමිය යුතුමයි’ කියලා. අවසානයේ ඔහු ජයග්‍රහණය කළා.

මේ යෝජනාවට දෙමළ දේශපාලන පක්ෂ, විශේෂයෙන් පෙඩරල් පක්ෂය කැමැති වුණා ද ?

පස්සේ මේ ගැන සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවේ දී පෙඩරල් පක්ෂය ‘පෙඩරල් ක්‍රමයක්’ යෝජනා කළා. එතකොට රාජ්‍යයේ ස්වභාවය ගැන යෝජනා දෙකක් තිබුණා, නමුත් මේ දෙක එකිනෙකට පරස්පරයි. නමුත් මේ දෙක අතර විසඳුමක් සොයා ගැනීමට පෙඩරල් පක්ෂයේ ධර්මලිංගම් උත්සාහා කළා. ඔහු ඇහුවා, ‘උඹලා හැමදාම කිව්වා මේ කච්චේරි ක්‍රමය අහෝසි කරලා ජනතාවගෙන් තේරී පත් වුණ දිස්ත්‍රික් මට්ටමේ ආයතන හදනවා කියලා. අඩු ගානේ ඒකවත් කරන්න බැරිද ?’ කියලා. නමුත් එදා සමගි පෙරමුණ ධර්මලිංගම්ගේ යෝජනාවට සාධනීය පිළිතුරක් දුන්නේ නැහැ. පෙඩරල් ක්‍රමයට ගැහුවා මිස අතරමැදි යෝජනාවට කිසිම සැලකිල්ලක් දැක්කුවේ නැහැ.

මේ අවස්ථාවේ පෙඩරල් පක්ෂය ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියෙන් ඉවත් වුණා කියන්නේ ඇත්තද ?

සාමාන්‍ය මතයක් තිබෙනවා ඒ අවස්ථාවේ පෙඩරල් පක්ෂය නැගිටලා ගියා කියලා. නැහැ, ඒක වැරදියි. ඔවුන් හිටියා, ඊට පස්සේ ඔවුන් කිව්වා, ‘එහෙනම් අපි භාෂා ප්‍රශ්නය සම්බන්ධයෙන් එකඟත්වයකට එමු’ කියලා. ඒකත් අසාර්ථක වුණා. නමුත් ඔවුන් සාකච්ඡාවලින් ඉවත්ව ගියේ නැහැ. ඊට පස්සේ චෙල්වනායගම් කිව්වා, ‘නාට්‍යමය ස්වරූපයෙන් අපි නැගිටලා යන්නේ නැහැ. මේ ගරු සභාවට මම කියන්නේ ඊළඟ දවසේ ඉදන් අපි මේකට සහභාගී වෙන්නේ නැහැ’ කියලා.

එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය කුමක් ද ?

එක්සත් ජාතික පක්ෂයත් විරුද්ධ වුණා. කොහොම නමුත් ආණ්ඩුවට 2/3ක බලයක් තිබුණ නිසා ව්‍යවස්ථාව පහසුවෙන් සම්මත කර ගත්තා. නමුත් 1972 ව්‍යවස්ථාව තිබුණේ අවුරුදු හයයි. ඊට පස්සේ ඒකේ තිබුණ දුර්වලකම් හේතුවෙන්ම, විශේෂයෙන් රාජ්‍ය සේවය කැබිනට් මණ්ඩලය යටතට ගත්තා, රාජ්‍ය සේවා කොමිෂම කැබිනට් මණ්ඩලය යටතට ගත්තා, විනිශ්චයකාරවරු පත් කිරීමත් කැබිනට් මණ්ඩලය යටතට ගත්තා, අධිකරණ සේවා කමිටුවක් තිබුණත් අවසන් තීන්දුව ගත්තේ කැබිනට් මණ්ඩලය. මේ දුර්ලතා පාවිච්චි කරලා ජේ.ආර්. ජයවර්ධන 1978 දී තමන් වුවමනා ව්‍යවස්ථාව හදා ගත්තා.

1972 ව්‍යවස්ථාව සම්පාදනය කරන විට ජේ.ආර්. ජයවර්ධන විධායක ජනාධිපති ක්‍රමයක් යෝජනා කළා ද ?

ඔව්, ඔහු එවැනි යෝජනාවක් කළා. නමුත් ඒකට එක්සත් ජාතික පක්ෂ නායක ඩඩ්ලි සේනානායක, ඒ.සී.ඒස්. හමීඩ් ඇතුළු නායකයෝ විරුද්ධ වුණා. ජේ.ආර්.ට සහාය දුන්නේ රණසිංහ ප්‍රේමදාස විතරයි. ඒ බව සටහන්වල වාර්තා වෙලා තිබෙනවා.

ජේ.ආර්. ජයවර්ධන 1977 මහ මැතිවරණයෙන් 5/6ක බලයක් දිනා ගෙන 1972 දී ඔහු දැක්ක සිහිනය සැබෑ කර ගත්තා නේද ?, 1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාව ගැන ඔබේ අදහස කුමක් ද ?

1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ජේ.ආර්. ජයවර්ධන පුද්ගලිකව සම්පාදනය කළ ව්‍යවස්ථාවක් කියලා කියන්න පුළුවන්. ඔහු ඔහුට අවශ්‍ය කළ සියලුම දේවල් දාලා ව්‍යවස්ථාව හදා ගත්තා. නමුත් මේ ව්‍යවස්ථාවෙත් සාධනීය දේවලුත් තිබුණා. මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය ටිකක් ශක්තිමත් කළා. නමුත් ඉතාමත්ම ඒකාධිකාරී පාලනයකට තුඩු දෙන ව්‍යවස්ථාවක් තමයි ජේ.ආර්. හදා ගත්තේ. ඒ බව ඔහු ක්‍රියාවෙන්ම පෙන්නුම් කළා. ඔහු ජාතික ගැටලුව ගැන කිසිම උනන්දුවක් යොමු කළේ නැහැ. 1977 මහ මැතිවරණයේ ඔහු පොරොන්දු වුණා අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කරන විට වටමේස සාකච්ඡාවක්’ කරනවා කියලා. ඒක කළේ නැහැ. ඒ වගේම දෙමළ දේශපාලන පක්ෂ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වුණේ නැහැ. ඊට පස්සේ 1983 කලු ජූලිය ආවා. මේ අතරේ ඔහු එංගලන්තේ පුවත්පතකට කිව්වා ‘මට දැන් දෙමළ ජනතාව ගැන බලන්න බැහැ. සිංහල ජනතාවගේ මතය දෙස පමණයි මම බලන්නේ. උතුරේ දෙමළ ජනතාව බඩගින්නේ මැරෙන්න දුන්නත් සිංහල ජනතාව කැමති වෙයි’ තියලා. ඒක කිසිසේත් රාජ්‍ය නායකයෙකුට ගැළපෙන කතාවක් නෙමෙයි. ඔහුගේ මේ ප්‍රකාශ 1983 කලු ජූලියට උත්තේජනයක් වුණා. ඒ වගේම 1980 ජූලි වැඩ වර්ජනය ඔහු විධායක ජනපති බලතල පාවිච්චි කරලා යටපත් කළා. ඒකෙන් මේ රටේ කම්කරු ව්‍යාපාරය දුර්වල වුණා. මේ වාගේ දීර්ඝ ලැයිස්තුවක් ජේ.ආර්ගේ ව්‍යවස්ථාව ගැන කියන්න පුළුවන්. ජේ.ආර්ගෙන් පසු ආර්. ප්‍රේමදාස ජනාධිපති වුණා. ඔහුගේ පාලනය දැඩි දරදඩු පාලනයක්.

1978 ව්‍යවස්ථාව සුළු ජාතීන්ගේ පිළිගැනීමට ලක් වුණා ද ?

විධායක ජනාධිපති ක්‍රමය හරහා තමන්ට සහනයක් ලැබෙයි කියලා සුළු ජාතින් බලාපොරොත්තු වුණා. නමුත් ඒ බලාපොරොත්තු ඉටු වුණේ නැහැ.

1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක බලයට පත්වෙන්නේ විධායක ජනාධිපති ක්‍රමයත් අහෝසි කරන අලුත් ව්‍යවස්ථාවක් ගැන පොරොන්දුවක් දීලා. චන්ද්‍රිකාගේ ව්‍යවස්තා සම්පාදන ක්‍රියාවලිය ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ?

1994 ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිතුමිය තේරීම් කාරක සභාවක් පත් කළා. 1996 සිට මම නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ වුණා. එවකට මම අධිකරණ අමාත්‍යාංශයේ, අධිකරණ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ උපදේශකවරයෙක් ලෙස කටයුතු කළා. මේ තේරීම් කාරක සභාව රැස්වීම් 100කට අධික සංඛ්‍යාවක් කළා. දීර්ඝ සාකච්ඡාවකින් පසුව අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කළා. මේ ක්‍රියවලිය ඉදිරියට ගොස් 2000 අවුරුද්දේ නව ව්‍යවස්ථාව ගැන යළි සාකච්ඡා කළා. ඒ වන විට චන්ද්‍රිකා මැතිණිය සිය දෙවන ධුර කාලය ආරම්භ කර තිබුණා. ඒ අනුව ආණ්ඩු පක්ෂය තුළ මුලින්ම සාකච්ඡා කළා, ඊට පස්සේ දමිළ දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කළා. අවසානයේ එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡා කළා. ඒ සාකච්ඡා වල ලේකම්  ලෙස මම කටයුතු කළ නිසා ඒ හැම සාකච්ඡාවකටම මම සහභාගී වුණා.

එක්සත් ජාතික පක්ෂය සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළා. ඒ අනුව එක කරුණක් හැරෙන්නට සම්පූර්ණ ව්‍යවස්ථාව පිළිබඳව එකඟත්වයක් ඇති කර ගන්න අපට පුළුවන් වුණා. ඒ අනුව 2000 ජූලි මාසයේ මුල ජනාධිපතිනියත්, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාත් සාකච්ඡා කළා. ඔවුන් අවසන් කෙටුම්පතට එකඟ වුණා. නමුත් එක කරුණක් ඉතුරු වෙලා තිබුණා. ඒක තමයි, ‘ජනාධිපතිනියගේ දෙවැනි ධුර කාලය සීමා කරනවාද ?’යන ප්‍රශ්නය. මේ ගැන යළි සාකච්ඡා කළා. මේ ගැන සාකච්ඡා කරන්න වෙනම සාකච්ඡාවක් කැදෙව්වා. ඒ අතර ආණ්ඩු පක්ෂය තුළත් සාකච්ඡවක් සිදු වුණා. ඒ සාකච්ඡාවේදී ජනාධිපතිපනියගේ ධුර කාලය අවුරුදු තුනකට යෝජනා කරලා, අවශ්‍ය නම් අවුරුදු දෙකකට අඩු කරන්නත් ආණ්ඩු පක්ෂය කැමැති වුණා. (ඒ වන විටත් ජනාධිපතිනියගේ දෙවන ධුර කාලයෙන් මාස 08ක් ගත වෙලා තිබුණා). ඊළඟ සාකච්ඡාවට රනිල් වික්‍රමසිංහ මහත්යා ආවේ නැහැ. කරු ජයසූරිය මහත්තයා සාකච්ඡාවට ඇවිත් ‘මේ සාකච්ඡාව මෙතැනින්  ඉදිරියට ගෙන යන්න බැහැ, මේ යෝජනාවලිය මහා සංඝ රත්නයට ඉදිරිපත් කළ යුතුයි කියලා අපි හිතනවා’ කියලා කිව්වා. එහෙම කියපු කරු ජයසූරිය මහත්තයා නැගිටලා ගියා.

ඊට පස්සේ මොකද වුණේ ?

ජනාධිපතිය සිය ධුර කාලය අවුරුද්දකට අඩු කරන්න යෝජනා කළා. ඒ පණිඩුඩය කරු ජයසූරිය අතේ එජාප නායකයාට යැව්වා. ‘තම මාස හතරකින් මම විධායක ජනාධිපති ධුරය අතහරිනවා’ කියලා ජනාධිපතිනිය යෝජනා කළා. නමුත් එජාප නායකයා ඒකට ප්‍රතිචාරයක් දැක්කුවේ නැහැ.

ඒ ඇයි  ?

හේතුව පැහැදිලියි. ඒ වන විට පාර්ලිමේන්තු මැතිවරණය ආසන්න වෙලා තිබුණා. ‘මේ ව්‍යවස්ථාව සම්මත වුණොත් චන්ද්‍රිකා මැතිණියට දේශපාලන වාසියක් වෙයි’ කියලා එජාප නායකයා හිතන්න ඇති. මේක අපට හොඳ පාඩම් කියලා දුන්නා. ඒ පාඩම තමයි, පාර්ලිමේන්තුවක කාලය අවසානයේ දී ව්‍යවස්ථා වෙනස්කම් කරන්න උත්සාහා කරන්න එපා. ඒකට හේතුව තමයි, විපක්ෂය බලනවා මේක ඉදිරි මැතිවරණයට බලපාන්නේ කොහොමද ? කියලා. ඔ්නෑම විපක්ෂයක් ටිකක් අවස්ථාවාදීව කටයුතු කරන්න ඉඩ තියෙනවා. මේක කියා දෙන අනෙක් පාඩම තමයි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරනවා නම් පාර්ලිමේන්තුවේ මුල් මාසවල ඒක කළ යුතුයි.

2015 යහපාලන ආණ්ඩුවත් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ගැන ජනතාවට පොරොන්දුවක් දුන්නා. ඔබ මේ ක්‍රියාවලියට ඍජුව දායක වුණා. යහපාලන ආණ්ඩුවේ ව්‍යවස්ථාවට මොකද වුණේ ?

යහපාලන ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තුවේ 225ම නියෝජනය කරන ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක්’ හැදුවා. මේ මණ්ඩලය පිහිටුවීමේ අරමුණ වුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතකට එකඟ වෙලා, ඊට පස්සේ ආපසු පාර්ලිමේන්තුවට ගිහින් 2/3ක ඡන්දයෙන් ඒක සම්මත කරලා ජනමත විචාරණයකය යාමයි. එදා අපි දෙමළ ජාතික සන්ධානය එකඟ කර ගත්තා ‘ඒකීය’ කියන වචනය ඒ ආකාරයෙන්ම තියා ගන්න. ඔවුන් කිව්වා, ‘ඒකීය කියන එක තියා ගන්න, නමුත් ඒකීය කියන එක පැහැදිලි කරන්න’ කියලා. ඒ අදහසට අපි එකඟ වුණා. ඒ අනුව අපි එකඟ වුණ නිර්වචනය තමයි, ‘ඒකීය යනුවෙන් අදහස් කරන්නේ මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ හැක්කේ මධ්‍යම පාර්ලිමේන්තුවට සහ මේ රටේ මුළු ජනතාවට පමණයි. ඒ කියන්නේ සමස්ත ශ්‍රී ලාංකික ජනතාව තමයි ජනමත විචාරණයකින් ඡන්දය දෙන්නේ. ව්‍යවස්ථාව වෙනස් කිරීමට අවශ්‍ය 2/3ක ගන්නේ පාර්ලිමේන්තුවෙන්. සරලව පැහැදිලි කළොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේ දී පළාත් සභාවලට කිසිම භූමිකාවක් නැහැ. ව්‍යවස්ථා නීතිය අනුව ඒකීය කියන එකේ නියම නිර්වචනය මේකම තමයි. මේකට දෙමළ ජාතික සන්ධානය එකඟ වුණා. ඒක ලොකු පියවරක් ලෙස මම දකිනවා. ඒත් එක්කම අනු කමිටු හයක් (06) පත් කළා. මේ අනු කමිටු හය ඉතාම අගනා වාර්තා හයක් ඉදිරිපත් කළා. බොහෝ දුරට ඒකමතිකවයි ඒවා ඉදිරිපත් කළේ. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මොහෙයුම් කමිටුව විසින් ඉතාම හොඳ වාර්තාවක් ඉදිරිපත් කළා.  ඒවගේම නීතිඥ ලාල් විජේනායක මහත්මයාගේ ප්‍රධානත්වයෙන් මහජන අදහස් විමසීමට කමිටුවක් පත් කළා. ඔවුන් ලංකාවේ දිස්ත්‍රික්ක 25ටම ගිහින් මහජන අදහස් ලබා ගත්තා. ඒ වගේම මෙහි ඉතාම ක්‍රියාකාරී සාමාජිකාවක් ලෙස වත්මන් අගමැතිනිය ක්‍රියා කළා. එම කමිටු වාර්තාවේ  කෙටුම්පත් හැදීමත් භාර ගෙන තිබුණේ එතුමිය. නමුත් අවාසනාවන්ත ලෙස මේ ක්‍රියාවලිය දිගටම ගියේ නැහැ.

ඒ ඇයි ?

ඒකට හේතුව තමයි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ඇති වුණ විරසකය. ඒත් එක්කම පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. නමුත් මේ සියලුම වාර්තා තිබෙනවා. ඉදිරියේ දී ඔ්නෑම කෙනෙකුට ඒ වාර්තා පාවිච්චි කරන්න පුළුවන්.

අලුත් ව්‍යවස්ථාවක් ගැන කතා කරන බොහෝ අය කියනවා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන කටයුතුවලින් වැඩි ප්‍රමාණයක් මේ වන විට අවසන් කියලා. එහි අදහස කුමක් ද ?

ඔව්, ඒ වන විට නීතිමය කෙටුම්පත පවා සම්පාදනය කරලා තිබුණා. අවශ්‍ය නම් වත්මන් ආණ්ඩුවට අපි නතර කළ තැනින් පටන් ගන්න පුළුවන්. මොකද ජාතික ජන බලවේගය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙනවා ‘නතර කළ තැනින් ආරම්භ කරනවා’ කියලා. ඒක ඉතාම සාධනීය තත්ත්වයක්. මම හිතන්නේ ඒක ඉතාමත්ම ප්‍රායෝගිකයි. ඒ කියන්නේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් ලෙස රැස් වෙනවා. ඊට පස්සේ අර ක්‍රියාවලිය දිගටම කරගෙන යන්න පුළුවන්.

වත්මන් ආණ්ඩුව අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන පොරොන්දුවක් දීලා තිබෙනවා. එහි කටයුතු සිදුවන ආකාරය ගැන ඔබට අදහසක් තිබෙවා ද ?

ආණ්ඩුව ඇතුළේ සිදුවෙන්නේ කුමක් ද කියලා මම දන්නේ නැහැ. මට දැන ගන්න ක්‍රමයකුත් නැහැ. යම් සාධනීය දෙයක් වෙනවා කියලා ආරංචියකුත් නැහැ. නමුත් මම ප්‍රාර්ථනා කරනවා ‘යම් දෙයක් වෙනවා ඇති’ කියලා.

ඔබ මීට පෙර කිව්වා ආණ්ඩුවක් පත් වුණ අලුත අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පදනයට යා යුතුයි කියලා. මේ ආණ්ඩුව බලයට පත් වෙලා දැන් වසරකටත් වැඩි කාලයක් ගත වෙලා. ඒ වැනි තත්ත්වයක් තුළ සාධනීය දෙයක් කළ හැකි ද ?

කල් යන්න කල් යන්න මේ වැඩේ නොකෙරෙන තැනට පත් වෙනවා. හොඳම උදාහරණය චන්ද්‍රිකා ආණ්ඩුව. ආණ්ඩුව පරණ වෙන්න පරණ වෙන්න ආර්ථික ප්‍රශ්න ආදි වෙනත් ප්‍රශ්න ප්‍රමුඛතා බවට පත් වෙනවා. මගේ අදහස අනුව ආණ්ඩුව දැන් වුණත් ප්‍රමාද නැහැ. කෙටුම්පත් ආදිය සියල්ල තිබෙන නිසාත, අගමැතිණිය සහ ජාතික ජන බලවේගයේ ඉහළම කමිටුවේ සාමාජිකයෙක් වන ලාල් විජේනායකත් ඉන්න නිසාත්, ඔවුන් දෙදෙනාම හදපු වාර්තා තිබෙන නිසාත් මේ ක්‍රියාවලිය පහසුවෙන් ආරම්භ කළ හැකියි. ඒ වගේම පසුගිය 2016-17 ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට ජනතා විමුක්ති පෙරමුණ ඉතාම ක්‍රියාශීලීව සම්බන්ධ වුණා. ඒ වගේම මැතිවරණ ප්‍රකාශනයේ කිව්වා වාගේ අලුතින් ආරම්භ කරන්න දෙයක් නැහැ. නතර වුණ තැනින් ඉදිරියට යන්න පුළුවන්. මේක තමයි ඉතාම පහසු ප්‍රායෝගික පියවර.

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ දී අපේ කේන්ද්‍රීය සාධකය, අරමුණ විය යුත්තේ කුමක් ද ?

මම හිතන ආකාරයට ඉතාම වැදගත් දෙයක් තමයි අපි නවීන සහ ඉදිරිගාමී දර්ශනයක් සහිත ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතුයි.  ඒ වගේම ව්‍යවස්ථා සම්පාදනයේ අලුත් ප්‍රවණතා ගැන අවධානය යොමු කළ යුතුයි. මූලික ව්‍යුහය වෙනස් කළ නොහැකි ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතුයි. නීතියේ ආධිපත්‍ය, ජනරජවාදය, අධිකරණයේ ස්වාධීනත්වය, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය, මෙවැනි දේවල් ‘වෙනස් කළ නොහැකි මූලික දේවල්’ ලෙස පිළිගත යුතුයි. මොකද අනාගතයේ දී 2/3ක බලයක් ගන්න ආණ්ඩුවකට මේවා සියල්ලම වෙනස් කරන්න ඉඩ තිබෙනවා. දිනපු ගමන් ජනමත විචාරණයක් තිබ්බොත් ඒක දිනා ගන්නත් ලේසියි. එම නිසා අනුල්ලංඝණීය කරුණු ගණනාවක් මූලික ව්‍යුහයක් ලෙස ඉදිරිපත් කළ යුතුයි. ඒ ගැන අපි අවධානය යොමු කළ යුතුයි.

සටහන – භාතිය බරුකන්ද

රතුඉර පුවත්පතේ 2026  පෙරවාරී 01 වැනි දින ප්‍රකාශයට පත් කළ ලිපියකි

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website