අඩුපාඩු නොමැති සම්පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අපි සාදරයෙන් පිළිගන්නවා – ITAK පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීනේෂන්

රජය විසින් සිදුකරනු ලබන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් දෙමළ සහ සිංහල භාෂා සිසුන්ට සමාන අවස්ථා සැලසිය යුතු බව ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රීනේෂන් පාර්ලිමේන්තුවේදී පැවසීය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අතරතුර, පෙර පාසල් සහ ඒවායේ ගුරුවරුන් සඳහා වගකීම රජය භාර ගත යුතු බවත්, දරුවන්ට ගුණාත්මක මූලික අධ්‍යාපනයක් ලබා දීමට පියවර ගත යුතු බවත් ඔහු පැවසීය.

පසුගිය දා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සභාව කල් තැබීමේ යෝජනාව පිළිබඳ විවාදයේ දී ශ්‍රීනේෂන් මෙම ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් සිය ස්ථාවරය පැහැදිලි කළ ශ්‍රීනේෂණ් මන්ත්‍රීවරයා, “අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රටට අත්‍යවශ්‍ය වුවත්, අධ්‍යයන කටයුතු සිදු නොකර කඩිමුඩියේ සිදු කළහොත් වැරදි සිදුවීමේ ඉඩකඩ තිබෙනවා. ඉතිහාසයේ විවිධ අවස්ථාවලදී මෙවැනි වැරදි රාශියක් සිදුවී තිබෙනවා. උදාහරණයක් ලෙස, 1956 දී ගෙන එන ලද සිංහල පමණයි පනත දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන සිසුන්ට බලපෑවා. 1971 දී විශ්වවිද්‍යාල ප්‍රවේශයේ ප්‍රමිතිකරණය පිළිබඳ ගැටළුව ද එයට බලපෑවා.

ඒ හා සමානව, 1972 දී ගෙන එන ලද පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අධ්‍යාපනය සම්බන්ධයෙන් දෙමළ සහ සිංහල සිසුන් අතර වෙනස්කම් කිරීමේ තත්වයක් ඇති වුණා. 1981 දී යාපනය පුස්තකාලය ගිනි තැබීම අධ්‍යාපනයට එල්ල වූ පහරක් ලෙස ද අපි දකිනවා. මේ ආකාරයෙන් ඉතිහාසය දෙස බලන විට, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ බහුවිධ ප්‍රවේශයක් අනුගමනය කර ඇති බව පැහැදිලියි.

එබැවින්, වත්මන් රජය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී සිංහල භාෂාව ඉගෙන ගන්නා අයට සහ දෙමළ භාෂාව ඉගෙන ගන්නා අයට සමාන අවස්ථා ලබා දෙන්නේ නම් එය සාදරයෙන් පිළිගනු ඇති. ඇත්ත වශයෙන්ම, ආගමික මූලධර්මවාදය මේ රටට ඉතා අහිතකර ලෙස බලපා තිබෙනවා. හින්දු ආගම සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමේ දී, දේශපාලනඥයින්ට උපදේශකයින් වූ පුද්ගලයින් ඒ සඳහා පත් කර තිබෙනවා. ඊට අමතරව, උපදෙස් ලබා දිය හැකි මණ්ඩල තිබුණත් ඒවාට විශ්ව විද්‍යාලවල ශයිව සිද්ධාන්ත සභා සහ ශයිව පරිපාලන සභා ඇතුළත් වෙනවා. ඒවා මෙයට ඇතුළත් නොවීම විශාල දෝෂයක් ලෙස අපි දකිනවා.

රටට අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. මේ හරහා රට තුළ සංවර්ධනය හා ජාතික සමගිය ඇති කළ යුතුයි. සැමට සමාන අධ්‍යාපනයක් ලබා ගත යුතු බවට අපි එකඟ වෙනවා. අපගේ අධ්‍යාපනය ආරම්භ වන්නේ පෙර පාසලෙන්. පෙර පාසල පාසලෙන් පිටත වුව ද, රජය එය සම්පූර්ණයෙන්ම පිළිගෙන ගුරුවරුන් පත් කිරීම, ඔවුන් පුහුණු කිරීම සහ ඉගෙනුම් කටයුතු අධීක්ෂණය කිරීම සහ සිසුන්ගේ සංවර්ධනය නිරීක්ෂණය කිරීම කළ යුතුයි. එබැවින්, පෙර පාසල් ගුරුවරුන් සඳහා වගකීම භාර ගනිමින් සිසුන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමට රජය පියවර ගත යුතුයි.

ඒ හා සමානව, දරුවන් සඳහා දැනුම පදනම් කරගත් අධ්‍යාපනය සංවර්ධනය කිරීම සඳහා වැඩසටහන් ගත යුතුයි. රජය අඩුපාඩු නොමැතිව සම්පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදු කරන විට අපි එය සාදරයෙන් පිළිගනිමු”, පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීනේෂන් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website