2026 දී අධ්‍යාපන කේෂ්ත්‍රය තුළ සිදුවන වෙනස්කම් ගැන අගමැතිනියගෙන් සම්පූර්ණ පැහැදිලි කිරීමක්

කාලයක් පුරා අධ්‍යාපන ක්‍රමයේ තිබූ අඩුපාඩු අධ්‍යයනය කරමින් ඒවාට විසඳුම් සෙවීම වෙනුවෙන් වත්මන් ප්‍රතිසංස්කරණයන් හඳුන්වා දීමට කටයුතු කර ඇති බවත් රජය ක්‍රියාත්මක කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පුළුල් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයක් බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කළ අග්‍රාමාත්‍යවරිය මෙසේ ද පැවසුවාය. “අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනස වෙනුවෙන් මෙම වසරේ අයවැයෙන් රුපියල් මිලියන 24,986ක් වෙන් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව විෂය මාලා සංවර්ධනයට රුපියල් මිලියන 6084ක්, මානව සම්පත් සංවර්ධනයට රුපියල් මිලියන 1026ක්, යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 17,545ක්, තක්සේරු ක්‍රමය සහ ඇගයීමේ ක්‍රමය දියුණු කිරීමට රුපියල් මිලියන 298ක් සහ මහජන දැනුවත් කිරීම සඳහා රුපියල් මිලියන 36ක් වෙන් කර තිබෙනවා.

පාසල් අධ්‍යාපන විෂය මාලාව වසර අටකට වරක් වෙනස් විය යුතු බවට සම්ප්‍රදායක් තිබුණත්කාලයක් තිස්සේ එම සංශෝධනයන් සිදු වුණේ නැහැ. විෂය මාලා සංවර්ධනය පිළීබඳව මේ වනවිට සමාජයේ විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා. විෂය මාලා ප්‍රතිසංස්කරණය කිරීමේදී විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයේදී දරුවන් ඉගෙන ගැනීම කළ යුතු වන්නේ විෂය කරුණු කටපාඩම් කර වසර අවසානයේ පැවැත්වෙන විභාගයකට මුහුණ දීමෙන් අනතුරුව එහි ඇගයීමට පමණයි. මෙම ප්‍රතිසංස්කරණයේදී එසේ ඇගයීමට ලක්වීමට එහා ගිය තමන්ට අවශ්‍ය කුසලතා නිරන්තරයෙන් දියුණු කර ගනිමින් අධ්‍යාපනය ලැබීමේ ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. එහිදී පන්ති කාමරයේ ඉගැන්වීම් සිදු කරන ආකාරය, දරුවන්ට යොමු වන මොඩියුල හඳුන්වා දෙන ආකාරය, ඇගයීම සිදු විය යුතු ආකාරය පිළිබඳ සියලු කාරණා සලකා බැලීමෙන් අනතුරුව විෂය මාලා සංවර්ධනය කර තිබෙනවා මේ  හරහා මුල් අදියරේදී පළමුවන ශ්‍රේණියට සහ හයවැනි ශ්‍රේණියට 2026 වසරේදී විෂය මාලා සංවර්ධනය හඳුන්වා  දෙනවා.. හෙට ආරම්භ වන නව අධ්‍යයන වර්ෂය තුළ පළමු ශ්‍රේණියේ දරුවන්ට ජනවාරි මස 29වැනි දින සහ හය ශ්‍රේණියේ දරුන්වට ජනවාරි මස 21වැනි දින මෙම නව විෂය මාලාව හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා.

විෂය මාලාව හඳුන්වා දීම පමණක් නොව එයට සමගාමීව දරුවන් මෙම නව විෂය මාලාවට හුරු කිරීමට වැඩසටහන් සංවිධානය කර තිබෙනවා. ඒ ආකාරයෙන්ම මෙම වැඩපිළිවෙළ දෙමාපියන්ට හඳුන්වා දීම සඳහා ද වැඩසටහන් සංවිධානය කරනවා. එහි දී විෂයන් තෝරා ගත යුතු ආකාරය පිළිබඳව දරුවන් හා දෙමාපියන් දැනුවත් කරනවා. එසේම මෙම විෂයමාලාව උගන්වන ගුරුවරුන් පුහුණු කිරීමට ද විශේෂ වැඩසටහන් සංවිධානය කර තිබෙනවා. ඒ යටතේ මේ වන විට පුහුණූකරුවන් පුහුණුකිරීමේ වැඩසටහන් 7181ක් පවත්වා රට පුරා ගුරුවරුන් 132,580ක් සඳහා පුහුණුව ලබා දී  තිබෙනවා.

මීට සමගාමීව නව විෂය මාලාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන යටිතල පහසුකම් සඳහා අවධානය යොමු කර  තිබෙනවා. ඒ සඳහා පාසල් සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. සෑම දිස්ත්‍රික්කයකම සෑම කොට්ඨාසයකම අක්‍රියව පැවති ව්‍යුහ කමිටු නැවත සක්‍රීය කර එම කමිටු හරහා සංවර්ධනය කළ යුතු පාසල් හඳුනා ගනිමින් දියුණු කළ යුතු පාසල් හඳුනාගනිමින් ඒවා සංවර්ධනය කරන වැඩසටහනක් සංවිධානය කර තිබෙනවා.

නූතන අධ්‍යාපන ක්‍රමයට සමගාමීව දරුවන්ට ලැබිය යුතු යටිතල පහසුකම්, ගුරුවරුන්ට මෙන්ම විදුහල්පතිවරුන්ට ද ලැබිය යුතුයි. පාසල් පරිපාලනය දියුණු කිරීමට අවශ්‍ය වන ප්‍රතිපත්තීන් සහ යටිතල පහසුකම් ලබා දීම වෙනුවෙන් අපි කටයුතු කරනවා.

මේවන විට අගමැති කාර්යාලය මගින් ඩිජිටල් කාර්යය සාධක බළකායක් පත්කර අධ්‍යාපන ක්‍රමය ඩිජිටල්කරණය කිරීමට වැඩපිළිවෙළ මෙම වර්ෂයේ හඳුන්වා දීමට නියමිතයි. ඒ අනුව සියලුම අධ්‍යාපන පරිපාලන කටයුතු ඩිජිටල්කරණය කිරීමේ කටයුතු මෙන්ම විශේෂයෙන්ම ද්විතියික පාසල්වල ඩිජිටල්කරණයට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. මාර්තු මාසය වන විට අධ්‍යාපනය ඩිඩිටල්කරණය කිරීමේ ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට අපේක්ෂා කරනවා.

සමස්ත පද්ධතිය තුළම ඇති විය යුතු ව්‍යුහාත්මක වෙනස, විශේෂයෙන්ම යටිතල පහසුකම් මෙන්ම මානව සම්පත දියුණු කිරීම ද අවශ්‍යයි. ගුරුවරුන් පුහුණූ කිරීමේ විෂය මාලාව වසර 16කින් පමණ වෙනස් කර නැහැ. එම විෂය මාලාව මේ වනවිට වෙනස් කර තිබෙනවා. නව විෂයන්වලට අදාළ වන පරිදි ශිෂ්‍යයන් බඳවා ගැනීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. එසේම ගුරුවරුන් බඳවා ගැනීම ඉහළ දමා තිබෙනවා. ඒ අනුව වසර ගණානවක සිට පැවති මානව සම්පත් හිඟය පියවීමට හැකි වුණා. වසර පහක පමණ කාලයක සිට පැවති නඩු කටයුතු හේතුවෙන් ගුරුවරුන් බඳවා ගැනීමට නොහැකි තත්වයක් තිබුණා. පසුගිය වසරේ විද්‍යාපීඨ ගුරුවරුන් 3987ක් බඳවා ගැනීමට කටයුතු කළා” අග්‍රමාත්‍යවරිය වැඩි දුරටත් පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website