නියමිත ගාස්තුවට වඩා මුදල් අය කරන බස් රථ ගැන 118 -119 ක්ෂණික දුරකථනවලට දැනුම් දෙන්න

පොලිසිය හා ජාතික ගමනාගමන කොමිෂන් සභා නිලධාරින් එක්ව සිදු කරන ලද අහඹු බස් රථ පරීක්ෂා අවස්ථා කිහිපයකදී  මගීන්ගෙන් වැඩිපුර ගාස්තු අයකර ගෙන ඇති බව අනාවරණය වී ඇති අතර එවැනි බස් රථ සම්බන්ධව 118, 119 යන ක්ෂණික දුරකථන අංක මගින් වාචිකව පැමිණිලි ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙන බව පොලිසිය නිකුත් කළ විශේෂ මාධ්‍ය දැනුවත් කිරීමේ නිවේදනයක සඳහන් වේ. එම නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.

ශ්‍රී ලංකා පොලිසිය හා ජාතික ගමනාගමන කොමිෂන් සභා නිලධාරින් එක්ව සිදු කරන ලද අහඹු බස් රථ පරීක්ෂා අවස්ථා කිහිපයකදී එලෙස මගීන්ගෙන් වැඩිපුර ගාස්තු අයකර ගෙන ඇති බව අනාවරණය වී ඇති අතර එවැනි බස් රථ සම්බන්ධව 118, 119 යන ක්ෂණික දුරකථන අංක මගින් වාචිකව පැමිණිලි ඉදිරිපත්කරන ලෙස දැනුම් දෙන්නෙමු.

පොලිසියට ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත්කිරීමේ හැකියාවද ඔබට පවතී.

මෝටර් වාහන පනතේ 173 වගන්තිය අනුව, “යම් බස් රථයක අයිතිකරු, රියැදුරු හෝ කොන්දොස්තර විසින් යම් ගමන් මාර්ගයක හෝ මහා මාර්ගයක යම් ගමනක් සම්බන්ධයෙන් යම් බස් රථයක් පාවිච්චි කරනු ලබන්නේ බස් රථ ධාවන අවසර පත්‍රයක බලය යටතේද, ඒ බස් රථ ධාවන අවසරපත්‍රයේ යම් තත්ත්වයක් නිසා ඒ ගමන් මාර්ගය හෝ මහා මාර්ගය සම්බන්ධයෙන් බලය දෙනු ලැබූ ගාස්තුව ඉක්මවමින් යම් ගාස්තුවක් යම් මගියෙකුගෙන් ඉල්ලීම හෝ භාර ගැනීම නොකල යුතුය” යනුවෙන් සඳහන් වේ.

එවැනි වැරදි සිදුකරන තැනැත්තන්ට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 372 – බලෙන් ලබා ගැනීම, 398 – වංචා කිරීම, 386 – සාපරාධී සාවද්‍ය පරිහරණය යන වගන්ති ප්‍රකාරව ශ්‍රී ලංකා පොලිසිය ඉදිරි නෛතික ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරනු ඇත.

මූලාශ්‍රය – https://web.facebook.com/photo?fbid=1403069095178282&set=a.667652685386597

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website