අනුරාධපුර අටමස්ථානාධිපති හිමියන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණ නියෝගයක්

15 හැවිරිදි දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක් කළ බවට චෝදනා ලැබ සිටින අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සහ දැරියගේ මව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (08) නිට්ටඹුව පොලිසියට නියෝග කළේ ය.

සැකකාර පල්ලේගම හේමරතන හිමියන් විදෙස්ගතවීම වළක්වාලමින් ආගමන විගමන පාලකවරයාට තහනම් නියෝගයක් ද මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කළේය.

ජාතික ළමාරක්ෂක අධිකාරියේ නීතිය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ නීතීඥ සජිවනී අබේරත්න අධිකරණයට කළ කරුණු දැක්වීමක් සලකා බැලීමෙන් පසුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.

හිමිනමක හා තවත් සැකකරුවන් දෙදෙනෙකු 15 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් 22424/2026 බී දරන නඩුව ගොනු කර ඇත.

මෙම අපරාධයේ සැකකරුවෙකු ලෙස අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සහ දැරියගේ මව සැකකාරියක ලෙස නම් කිරීමට අධිකරණයේ අවසරය ලබා දෙන ලෙස ද ඒ අනුව සැකකාර පල්ලේගම හේමරතන හිමියන් සහ දැරියගේ මව අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට විදෙස්ගතවීම වළක්වාලමින් ආගමන විගමන පාලකවරයාට තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ද නීතීඥ සජිවනී අබේරත්න අධිකරණයෙන් ඉල්ලීමක් කළාය.

පැමිණිල්ලේ නීතිඥවරිය කළ කරුණු දැක්වීම අනුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, සැකකාර පල්ලේගම හේමරතන හිමියන් සහ දැරියගේ මව මෙම අපරාධයේ සැකකරුවන් ලෙස නම් කරන ලෙස නිට්ටඹුව පොලිසියට නියෝග කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website