ඉමේෂා දුලානි ICC අප්‍රේල් මාසයේ ක්‍රීඩිකාව සම්මානයේ අවසන් තිදෙනා අතරට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනිය වන ඉමේෂා දුලානි 2026 වසරේ අප්‍රේල් මාසය සඳහා වන ICC කාන්තා මාසයේ ක්‍රීඩිකාව සම්මානය සඳහා අවසන් නිර්දේශිත ක්‍රීඩිකාවන් තිදෙනා අතරට එක්ව සිටියි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) නිවේදනය කළ මෙම ලැයිස්තුවට ඇයගේ නම ඇතුළත්වීම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රයේ අනාගතයට සුබදායී සලකුණක් ලෙස සැලකිය හැකිය.

බංග්ලාදේශයට එරෙහිව පැවති අයි.සී.සී, කාන්තා එක්දින ශූරතාවලියේ ( ICC Women’s Championship) එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකාවට 2-1ක ජයක් හිමි කරදීමට ඇය දැක්වූ දක්ෂතා මෙම නිර්දේශයට මූලික වී තිබේ. තරගාවලිය පුරා ලකුණු 116ක් රැස් කළ ඇය ස්ථාවර ආරම්භ ලබා දෙමින් ශ්‍රී ලංකා ඉනිම් ගොඩනැගීමට වැදගත් දායකත්වයක් ලබා දුන්නාය. එම දක්ෂතා වෙනුවෙන් ඇය “තරගාවලියේ ක්‍රීඩිකාව” ලෙසද නම් කෙරිණි.

එක්දින තරගාවලියෙන් අනතුරුව පැවති පන්දුවාර 20 තරගාවලියේදීද ඉමේෂාගේ දක්ෂතා ඉහළ මට්ටමක පැවතිණි. තරග දෙකකදී ලකුණු 82ක් රැස් කළ ඇය, පළමු තරගයේදී පන්දු 40කින් ලකුණු 55ක් ලබා ගනිමින් වේගවත් ආරම්භයක් ලබා දුන්නාය. ඇගේ පිතිකරණය ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉහළ පෙළට විශාල ශක්තියක් එක් කිරීමට දායක විය.

මෙවර සම්මානය සඳහා ඇය සමඟ දකුණු අප්‍රිකා නායිකා ලෝරා වොල්වාර්ඩ්ට් සහ බ්‍රසීලයේ ලෝරා කාර්ඩෝසෝ ද නිර්දේශ වී සිටිති. වෝල්වාර්ඩ්ට් නවසීලන්තයට සහ ඉන්දියාවට එරෙහි තරගාවලිවලදී ශතකයක් සහ අර්ධ ශතක පහක් සමඟ විශිෂ්ට දස්කම් දැක්වූ අතර, කාර්ඩෝසෝ විස්සයි20 ජාත්‍යන්තර තරගයකදී කඩුලු 9ක් දවා ගනිමින් එම මාසයේ කැපී පෙනෙන ක්‍රීඩිකාවක් බවට පත්වූවාය.

අයි.සී.සී. මාසයේ ක්‍රීඩක/ක්‍රීඩිකා සම්මාන සඳහා ජයග්‍රාහකයින් තෝරාගැනීමේදී අයි.සී.සී, විනිශ්චයකාර මණ්ඩලය (ICC Voting Academy) සාමාජිකයන්ගේ සහ ලොව පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ ඡන්ද භාවිතා කෙරේ. එහිදී ප්‍රේක්ෂක ඡන්දයට සියයට 10ක බරක් හිමි වන අතර විනිශ්චයකාර මණ්ඩලයට ඡන්දයට සියයට 90ක බරක් හිමිවේ.

source: srilankacricket.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website