
නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගම විසින් ඉල්ලා සිටිනි 2026 වසර සඳහා යෝජිත විශේෂ විදුලි ගාස්තු සංශෝධනය අද (09) ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) පැවසීය.
ලෝක වෙළද පොලේ ඉංධන මිල ඉහළ යාම හේතුවෙන් 2026 වසරේ දෙවන හා තෙවන කාර්තු සදහා විදුලි ජනනයට අදාළ සංශෝධිත පිරිවැය ඇස්තමේන්තුවක් නැෂනල් සිස්ටම් ඔපරේටර් පුද්ගලික සමාගම 2026 අප්‍රේල් 27 වන දින ශ්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත.
මෙම පිරිවැය ඇස්තමේන්තුව පදනම් කරගෙන ක්‍රියාවට නැගීමට යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපදේශනයක් පැවත්වීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කළ අතර එය පසුගිය මැයි 06 වැනිදා කොළඹ දී සිදුවිය.
යෝජිත විදුලි ගාස්තු සංශෝධනයට අදාළ උපදේශන පත්‍රිකාවේ පහත සදහන් කරුණු අඩංගු කර ඇත.
- රුපියල් බිලියන 15ක රජයේ සහනාධාරය මැයි 10 සිට විදුලි පාරිභෝගිකයින්ට ලබා දීම
- ගෘහස්ත සහ ආගමික සිද්ධස්ථාන ඇතුළු විදුලි පාරිභෝගිකයින් සියයට 95කට රජයේ සහනාධාරය මත ගාස්තු ඉහළ නොදැමීමට නිර්දේශ
- පොදු කාර්ය, රාජ්‍ය ආයතන හා සංචාරක හෝටල් යන කාණ්ඩවල මාසික පරිභෝජනය ඒකක 180ට වඩා අඩු අනු කාණ්ඩ සදහා ද ගාස්තුව ඉහළ නොදැමීමට නිර්දේශ
- කර්මාන්ත අංශයේ පළමු අනුකාණ්ඩය සදහාද විදුලි ගාස්තු ඉහළ නොදැමීමට නිර්දේශ
- ගල් අගුරු තත්වය හේතුවෙන් සිදුවන අතිරික්ත පිරිවැය විදුලි ගාස්තු වලට ඇතුළත් නොකිරීම තවදුරටත් තහුවරු කිරීමේ පියවර
2026 වසරේ දෙවන හා තෙවන කාර්තු සදහා විදුලි ජනන පිරිවැය ඉහළ යාම හේතුවෙන් නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගමට රුපියල් බිලියන 38ක හිගයක් ඇතිවන බවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඇස්තමේන්තු කර තිබේ. මෙම හිඟය තුළ ගල් අගුරු තත්වය හේතුවෙන් විදුලි ජනනය සදහා බලපෑ අතිරේක වියදම් අඩංගු කර නොමැත. සමස්ත හිඟයෙන් රුපියල් බිලියන 15ක් සහනාධාර වශයෙන් ලබා දීමේ රජයේ තීරණය මහ භාණ්ඩාගාරය විසින් කොමිෂන් සභාව වෙත දැනටමත් දන්වා ඇත.











