දිට්වා සුළි කුණාටුවෙන් පසු ගොවිබිම් යථා තත්වයට පත්කර ගැනීමේ අභියෝගය ජය ගනිමු

එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ

සක්‍රීය වූ අන්තර් මෝසම සමග පසු ගිය නොවැම්බර් මස හමා ආ දිට්වා සුළි කුණාටුව විසින් ශ්‍රී  ලංකාවට පතිත කළ ධාරානිපාත වර්ෂාව, වසර ගණනාවකට පසුව මෙරට මුහුණපෑ අතිබිහිසුණු කාලගුණික තත්වයකි. දිවයින හරහා හමා ගිය සුළි කුණාටුව ශ්‍රී ලංකාවේ දකුණු පළාත හැර අනෙකුත් ප්‍රදේශවලට දැඩි බලපෑම් කරමින් ගොවිබිම් හා ප්‍රජාවගේ යටිතල පහසුකම් සුනුවිසුණු කිරීමට සමත්විය. පෙරලුන කළුගල්, බොරළු, ගස්කොළන් සහ රූරා ඇදී ගිය මඩ සහිත බොර ජලය ඇතිරූ භූමියක් ඉන් නිර්මාණය කළේ ය.

උද්ගතවූ තත්වය යටතේ ගැලූ මහා ජල කඳ, කඳුකරයේ සිට වෙරළබඩ දක්වා ගලා ගොස්, කුඹුරුයාය, එළවළු ගොවිපොළ සහ වැවිලි බෝග වගා ඉඩම් මතුපිට පස සෝදා හරිමින්, සියලුම ආකාරයේ ජල මාර්ගවලට හානි කරමින්, ගොවිබිම් හෙක්ටයාර ලක්ෂ ගණනක් විනාශ මුඛයට ඇද දමා ඇත. මෙම ව්‍යසනය හේතුවෙන් සම්පූර්ණයෙන්ම කෘෂිකර්මාන්තය මත යැපෙන ප්‍රජාවගේ ජීවනෝපාය දිගු කලකට අස්ථාවර කර තිබේ.

ජලයෙන් යට වූ කෙත්වතු සහ හානියට පත් ගම්මානවල වර්තමාන තත්වය, සිදුවූ මහා විපත හා මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව කතාව අපට හෙළිකරයි. 2004 වසරේ දෙසැම්බර් 26 වැනි දින සුනාමියෙන් පසුව ස්වභාව ධර්මයේ ඇති අනපේක්ෂිත අවදානම නැවත වරක් අපට මතක් කර දී ඇත. එමෙන්ම 2024 තරම් මෑතක දී ද ශ්‍රී ලංකාවේ උද්ගතවූ ගංවතුර ආපදා ව්‍යසනයෙන් ලද පාඩම් අප ඉගෙන ගත්තේ ද යන්න දැන් අපෙන් විමසා ගත යුතු ය. කෙසේ වුවද, සෑම කුණාටුවකටම පසු යළි නැගී සිටිමට අපට සිදුවී ඇත. අහිමි වූ දේ නොසලකා අනාගතය නැවත හැඩගස්වා ගැනීමට පමණක් නොව එකිනෙකා අතර විශ්වාසය, ආරක්ෂාව සහ බලාපොරොත්තුව නැවත ගොඩනැගීමට උදව් උපකාර කිරීම මෙම ව්‍යසනය හමුවේ අප සැම සතු  වගකීමයි.

මේ වනවිට හදිසි ප්‍රතිචාර අවසන්වී ව්‍යසනයටපත් පෙදෙස් යථා තත්වයට පත්කිරීමේ දිගු ක්‍රියාදාමය ආරම්භ වී ඇතත් ප්‍රධාන ගැටළුවක් වන්නේ ඛාදනයට ලක් වූ හෝ අවසාදිත පස් ස්ථර යට වැළලීගිය ගොවිබිම් යථා තත්ත්වයට පත් කරන ආකාරය කෙසේද යන්නයි. සිදුවූ මහා විපතින් පසුව, හානියට පත් කෘෂිකාර්මික ඉඩම් පුනරුත්ථාපනය කිරීමේ අවශ්‍යතාව හදිසි අවශ්‍යතා අතුරින් එකක් බවට දැන් පත්ව ඇත. ආන්තික කාලගුණික විපර්යාස නිසා පස හායනය, ජලසම්පාදන මාර්ග  විනාශවීම, සෘතුමය බෝග මත විශ්වාසය තැබීම සහ ගැඹුරු සමාජ-ආර්ථික දුෂ්කරතා විසඳා ගැනීම වැනි අභියෝග රැසකට දැන් ගොවීහු මුහුණ පා සිටිති.

සිදුව ඇති විනාශය හමුවේ ප්‍රධානකොට ම පුද්ගල ආරක්ෂාව ගැන අප සැලකිළිමත් විය යුතුවේ. ජලය බැස යාමෙන් පසු ගොවීන්ට තම කෙත්වතුවලට ප්‍රවේශමෙන් ගමන් කිරීමට හැකියාව උදා වුවද, ගංවතුරට ලක් වූ කෙත්යායවල බොහෝ විට තියුණු සුන්බුන්, කැඩුණු වැටවල්, වැටී ඇති සජීවී විදුලි රැහැන් සහ අසල ගබඩා හෝ කාර්මික ස්ථානවලින් ගසාගෙන එන රසායනික දූෂක සැඟවී පැවතිය හැකි ය. ඒ හේතුවෙන් ගොවිබිම් වෙත ඇතුළුවීමේදි ගොවීන් අවදානමකට ලක් විය හැකි ය. ආපදා ප්‍රතිචාර කණ්ඩායම්වල ආධාර ඇතිව ස්වකීය ඉඩම් වෙත ප්‍රවේශවීමෙන් ඔවූන්ගේ ආරක්ෂාව තහවුරු කරගැනීම ගොවී ජනතාවගේ වගකීමකි.දිට්වා කුණාටුවෙන් ඇතිකළ බලපෑමේ දෘශ්‍යමාන සලකුණු වලින් එකක් වන්නේ, විශේෂයෙන්ම පහත් ගොවිබිම් සහ කුඹුරු ඉඩම් තුළ රැස්ව ඇති රොන්මඩ සහ අවසාදිත ඝන ස්ථර ය.

ශ්‍රී ලංකාවේ සමහර ප්‍රදේශවල, සෙන්ටිමීටර සියයක් පමණ උසට වැලි මිශ්‍ර මඩ තැන්පත් වී ඇති ආකාරය විද්‍යුත් මාධ්‍ය මගින් පෙන්වා දෙන ලදී. පසේ සාරවත් බව අහිමිවීම වළකා ගැනීම සඳහා තැන්පත්ව ඇති මෙම අපද්‍රව්‍ය ඉවත් කළ යුතු ය. ඇතැම් තැනක බර යන්ත්‍රෝපකරණ ඊට යෙදවීමට සිදුවිය හැකිය. එසේ අවශ්‍ය වූ විටක එය ප්‍රවේශමෙන් කළ යුතු දෙයකි. ජලයෙන් සංතෘප්ත පස මත බරයන්ත්‍රෝපකරණ පරිහරණයට අපහසු වන අතර එසේ වැඩ කිරීම එම රොන්මඩ සහිත මැටි පස තව තවත් සංයුක්තවීමේ අවදානමක් ඇති කරයි. එමගින් පාංශු ව්‍යුහයට ඇතිකළ හැකි හානිය වසර ගණනාවක් ඉදිරියට බලපවත්වනු ඇත. කෙසේ වුවද, ස්වභාවිකව වගා ක්ෂේත්‍රයේ ජලය බැස ගොස් වැඩ කළ හැකි තෙතමන මට්ටමකට ළඟා වන තෙක් බලා සිට එම අපද්‍රව්‍ය ඉවත් කිරීම සුදුසුවේ. ඉන් අනතුරුව වගා කටයුතු උදෙසා බිම් සැකසීමට අවස්ථාව උදාවේ.

එහෙත් අවසාදිතවලට අමතරව, පාංශු සෞඛ්‍යය කෙරෙහි බලපවත්වන ප්‍රධාන ගැටළුවක් වන්නේ ගංවතුර මගින් නයිට්‍රජන් ඇතුළු අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ගොවිබිමෙන් සෝදාගෙන යාමයි. එහෙයින් සුළි කුණාටුවෙන් ජල ගැල්මට ලක්වූ ප්‍රදේශවල, බෝග සංස්ථාපනයට පෙර හෝ ඊට ආසන්නව පොහොර යෙදීම තීරණය කිරීමට පෙර‍ ගොවි බිමේ පස පරීක්ෂා කිරීම වඩාත් උචිත වේ. එකී උපදෙස්මත පසට කාබනික / රසායනික ද්‍රව්‍ය නැවත එකතු කළ හැකි අතර පාංශු ව්‍යුහය යථා තත්ත්වයට පත් කිරීමේදී එය තීරණාත්මක සාධකයක් වනු ඇත. එමෙන්ම එකී පරීක්ෂණ වාර්ථාව සමග යෝජිත බෝගය සඳහා වන පොහොර නිර්දේෂය ද ගොවීන්හට ලබාගත හැකි වේ.

දිට්වා සුළි කුණාටුවෙන් පසුව ගොවිබිම් සම්බන්ධයෙන් ඉස්මතුව ඇති වඩාත් සංකීර්ණ ගැටළුවක් ලෙස ජලාපවහනය දැකගත හැකිවේ. වැසි නතර වූ පසුවත් කුඹුරුයාය මෙන්ම විශාල පොල් ඉඩම් හා බොහෝ මිශ්‍ර වගා ගොවිපලවල් දින කිහිපයක්ම ජලයෙන් යට වී පැවතීම එය සනාථ කරයි. මෙයට අර්ධ වශයෙන් හේතු වී ඇත්තේ අපද්‍රව්‍ය රැඳී අවහිර වූ ඇළ මාර්ග, සුළු වාරිමාර්ග මාර්ග සහ වසර ගණනාවක් තිස්සේ නඩත්තු නොකර අතහැර දැමූ ස්වාභාවික ජලාපවහන මාර්ගයි. එහෙයින් ගොවිබිම් නැවත ගොඩනගන අවස්ථාවේ දී දුර්වල ලෙස ජලය බැස යන එවැනි ස්ථාන හඳුනාගැනීම හා පිරිසිදුකර ගැනීම වඩා වැදගත් වේ. විශේෂයෙන් ගංවතුරට යළි යළිත් ගොදුරුවන ප්‍රදේශයන්හි, අනාගතයේදී සිදුවිය හැකි පාඩු අවම කිරීම සඳහා ජලය රඳවා ගැනීමට සුදුසු පහත් බිම් ප්‍රදේශ ඉක්මනින්ම හඳුනාගෙන ඒවා සංරක්ෂණය කිරීමට කටයුතු කිරීම ඉතා යෝග්‍ය වේ.

ගංවතුර සමග බොහෝවිට දූෂක ද්‍රව්‍ය ද ප්‍රවාහනය වේ. ඒ හේතුවෙන් ගංවතුර අවදානම පහ වුවද ඒ ඔස්සේ රැගෙන ආ අපද්‍රව්‍ය, කාර්මික රසායනික ද්‍රව්‍ය, පළිබෝධනාශක, සහ බැර ලෝහ පසේ ගුණාත්මක බවට මෙන්ම බෝග සෞඛ්‍යාරක්ෂාවට හා පශු සම්පත් කෙරෙහි ද දැඩි ලෙස අවදානම් තත්වයක් උදාකර ඇත. එමෙන්ම ගංවතුර සහ තෙතමනය සහිත තත්වයන් බෝගවල මුල් කුණුවීම, කොළ අංගමාරය සහ මැලවීම වැනි දිලීර ආසාදන සඳහා පරිපූර්ණ අභිජනන භූමියක් නිර්මාණය කිරීමට දායකවනු ඇත. එතෙක් දුර්වල ලෙස නඩත්තු කරන ලද ජලාපවහන පද්ධති මෙම බලපෑම් නරක අතට හැරවීම තවත් වේගවත් කරයි. එකතැන පල්වෙන ජලය පළිබෝධ පැතිරීම ද ප්‍රවර්ධනය කරයි. ඒ සමඟම, ගංවතුර දුර බැහැර ප්‍රදේශවලින් වල් පැලෑටි බීජ රැගෙන එන අතර, ගොවීන්ට මීට පෙර කිසිදා හමු නොවූ නව වල් පැලෑටි විශේෂ වගා ක්ෂේත්‍ර යේදී දැකගන්නට ලැබෙනු ඇත. එහෙයින් ගොඩනගාගත් නවමු ක්ෂේත්‍ර  දිනපතා නිරීක්ෂණයකර වල් පැලෑටි බැහැරලීම අත්‍යවශ්‍ය  දෙයකි. මිය ගිය ශාක ද්‍රව්‍ය ඉවත් කිරීම සහ සුදුසු දිලීර නාශක හෝ ජීව විද්‍යාත්මක පාලන උපක්‍රම යෙදීමෙන් බෝග වගාවේ සාර්ථකත්වය තහවුරු කරගත හැකිවේ. විශේෂයෙන් ගොවීන් ඒකාබද්ධවී, පළිබෝධ පැතිරීම නිරීක්ෂණය කිරීම සහ එකිනෙකාට අනතුරු හඟවන ප්‍රජා නිරීක්ෂණ ක්‍රමවේදයකට යොමුවිම ඒ අරභයා වඩාත් සාර්ථක පියවරක් වනු ඇත.

ව්‍යසනයකින් පසු වගා ඉඩම් ප්‍රතිසංස්කරණය කිරීම භෞතික අභියෝගයක් පමණක් නොව මූල්‍යමය අභියෝගයකි. දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ගොවීන් සැලකිය යුතු මූල්‍ය පිරිවැය ගැටළුවකට මුහුණ දෙනු ඇත. ඒ අනුව ගොවිබිම්වල ඉවුරු හා නියර අලුත්වැඩියා කිරීමට, බීජ හෝ පැළ ප්‍රතිස්ථාපනය කිරීමට, පස පුනරුත්ථාපනයට, සුළු වාරි මාර්ග, ඇළ මාර්ග හා වාරි ජල සැපයුම් පද්ධති ප්‍රතිසංස්කරණය කිරීමට සහ නිෂ්පාදන පාඩුව කළමනාකරණය කරගැනීමට සිදුවනු ඇත. රජයෙන් ලබාදෙන මූල්‍ය සහන පැකේජ, බෝග රක්ෂණ ගෙවීම් සහ සහනාධාර දැනටමත් ප්‍රකාශයට පත්කර තිබේ. එසේ වුවත් තවමත්, බොහෝ ගොවීහු තමන්ට ලබාගතහැකි සම්පූර්ණ ආධාර පරාසය පිළිබඳව නිෂ්චිතවම නොදැන සිටිති. ප්‍රතිලාභ සැබවින්ම අවශ්‍ය අයට ළඟා වන බව සහතික කිරීම සඳහා ග්‍රාම නිලධාරීන්, කෘෂිකාර්මික ව්‍යාප්ති සේවා සහ ජංගම උපදේශන හරහා පැහැදිලිව සන්නිවේදන කළ හැකි වංචනික නොවන ක්‍රමවේදයක් අත්‍යවශ්‍ය වන්නේ එබැවිනි.

ශ්‍රී ලංකාවේ ගොවි කණ්ඩායම් සහ සමුපකාර සංවිධාන ශ්‍රමදායකත්වය පදනම්ව මෙවලම් බෙදා ගැනීමට, එක්රැස් කිරීමට සහ වාරිමාර්ග අලුත්වැඩියා කිරීමට රුසියෝ වෙති. එම ක්‍රියාවලිය අර්බුදවලදී අත්‍යවශ්‍ය වන සමාජ බැඳීම් ශක්තිමත් කිරීමට දායකවී ඇත. අතීතයේ සිටම ප්‍රජා පාදක ආපදා ප්‍රතිචාර විධි අපට ඒ වටිනා ආදර්ශ ලබාදී ඇත. කෙසේ වෙතත්, දිගුකාලීන ප්‍රශ්නය වන්නේ ඒවා නැවත ගොඩනැගීම පමණක් ප්‍රමාණවත්ද යන්නයි. දිට්වා වැනි ව්‍යසන තවදුරටත් දුර්ලභ සිදුවීම් නොවේ.

ලෝකය පුරා කාලගුණ විද්‍යාඥයින් නිරන්තරයෙන් අනතුරු අඟවා ඇත්තේ සාගර උෂ්ණත්වය ඉහළ යාම නිවර්තන සුළි සුළං වල තීව්‍රතාවය වැඩි කරන බවයි. වර්ෂාපතන රටා වඩාත් අනපේක්ෂිත වෙමින් පවතින අතර සෘතුමය අන්ත සමග ගංවතුර, නියඟ, තාප තරංග දැන් දැන්   සාමාන්‍යකරණය වෙමින් පවතී. ඉන්දුනීසියාව, මියන්මාරය, බංග්ලාදේශය, ඉන්දියාව හා ශ්‍රී ලංකාව වැනි කෘෂිකර්මාන්තය මත සෘජුවම යැපෙන රටවල් මෙකී දේශගුණික විපර්යාස හමුවේ තවදුරටත් තර්ජනයට ලක්වනු ඇත. එහෙයින් උදාවූ මෙම තත්වය ආහාර සුරක්ෂිතතාවයේ අනාගතය හැඩගස්වන අභියෝගාත්මක හැරවුම් ලක්ෂයක් බවට අප පත්කරගත යුතුය.

ඒ අනුව මෙම ගොවිබිම් නැවත ගොඩනැගීම ව්‍යසන උදෙසා දිගුකාලීනව ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කරන උපාය මාර්ග සමඟ ඒකාබද්ධ කළ යුතුවේ. එමෙන්ම ආන්තික කාලගුණයට එරෙහිව ශක්තිමත් ආරක්ෂාවක් නිර්මාණ කරගැනීම උදෙසා කුඩා වතු හිමියන්ට ප්‍රවේශ විය හැකි තාක්ෂණය ලබාදීම සඳහා රජය, රාජ්‍ය නොවන සංවිධාන සහ මෙරට ස්ථාපිත පර්යේෂණ ආයතන කාර්ය මණ්ඩල එක්ව කටයුතු කිරීම වැදගත් වේ.

මෙම පාරිසරික කම්පන ආහාර සුරක්ෂිතතාවයට සෘජුවම තර්ජනය කරයි. එය ග්‍රාමීය සහ නාගරික ප්‍රජාව යන දෙකම දැඩි අවිනිශ්චිතතාවයකට තල්ලු කරයි. ගොවීන්ට තම අස්වැන්න පමණක් නොව නැවත වගා කිරීමට ක්ෂේත්‍ර හානි පිළිසකර කරගැනීමට හෝ අත්‍යවශ්‍ය යෙදවුම් මිලදී ගැනීමට ඇති අවකාශයද අවහිර කරයි. බොහෝ දෙනෙක් පාඩු සහ අනාගත ව්‍යසනයන් පිළිබඳ බිය නිසා ඇතිවන මානසික ආතතියට ද ගොදුරු වෙති.

කෙසේ වුව ද සිදුවන භෞතික හානිවලට අමතරව, මෙවවැනි ව්‍යසන සමාජ-ආර්ථික ව්‍යවසාය යථා තත්ත්වයට පත්වීම ද මන්දගාමී කරයි. කුණාටුවෙන් පසු වාරිමාර්ග, ඇළ මාර්ග, මහා මාර්ග සහ ගබඩා පහසුකම් වැනි තීරණාත්මක යටිතල පහසුකම් නටබුන්ව ඇති හෙයින් සහන සහ ප්‍රතිසංස්කරණය යන කටයුතු දෙකම ප්‍රමාද කරයි. ප්‍රාදේශිය වශයෙන් රජයේ ආයතන සහ සංවර්ධන හවුල්කරුවන් අතර සම්බන්ධීකරණය බොහෝවිට ඛණ්ඩනය වී ඇති හෙයින් ආපදා ප්‍රතිචාර දැක්වීමේ සහ දිගුකාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමේ කාර්යක්ෂමතාව දුර්වල කරයි.

එහෙයින් වහ වහා අප කළයුත්තේ කුමක්ද? ඊට ප්‍රතිචාර වශයෙන් රටපුරා ගොවිබිම් පුනරුත්ථාපන ප්‍රයත්නයන් ඒකාබද්ධකරන, බුද්ධිමත් කෘෂිකාර්මික පිළිවෙත් කෙරෙහි අපි අවධානය යොමුකළ යුත්තෙමු. එමෙන්ම හානියට පත් වගා ඉඩම්වල සාරවත් බව නැවත ගොඩනැගීම සඳහා ඒකාබද්ධ පාංශු පෝෂක කළමනාකරණය කෙරෙහි නැඹුරුවීමට ගොවීන් දිරිගැන්විය යුතුයි. ඒ සමගම කාලගුණික විපර්යාස වලට මුහුණ දිය හැකි විසඳුම් මෙන්ම දේශගුණික ගැටළු වලට ප්‍රතිචාර දක්වන බෝග වර්ග වගා කිරීමට ගොවීන් යොමුකළ යුතුවේ. කෙසේ වුවද උද්ගතවිය හැකි සාමාන්‍ය ගංවතුර අවස්ථාවන්හිදී එළවළු බෝග නිෂ්පාදනය සහතික කිරීම සඳහා පාවෙන වේදිකාමත එකී බෝග වගා කරන ශිල්පීය ක්‍රම වැනි උපාය මාර්ග කෙරෙහි ගොවීන් නැඹුරුකරවීම ද වගකිව යුත්තන්ගේ යුතුකමකි.

එමෙන්ම වෙනස් වන දේශගුණයට අනුවර්තනය වෙමින් කෘෂිකාර්මික කටයුතු උදෙසා ඉඩම් පරිහරණ කිරීමේ නව උපාය මාර්ග අනුගමනය කිරීම, අපට බල කරනු ඇත. කඳුකරයේ වගාබිම් සමීපව වූ කඳු නායයෑම් අවම කිරීම සඳහා අදාල කඳුබෑවුම් ස්ථායීකරණය උදෙසා විසඳුම් යෙදීම බහුවිධ අභියෝගයකි. එහෙයින් නවීන ශිල්පීය තාක්ෂණික ක්‍රම හා තිරසර පාරිසරික භාවිතයන් සමඟ ව්‍යුහාත්මක පියවර ඒකාබද්ධ කිරීමෙන් නායයෑම් අවදානම් සැලකිය යුතු ලෙස අඩුකර එකී ගොවි ප්‍රජාව ආරක්ෂා කළ හැකි වේ. එහෙත් මධ්‍යම කඳුකරයේ මෙන්ම ඉන් බැහැරවද තියුණු බෑවුම් සහිත රජයේ ඉඩම් අනවසරයෙන් හෙළි පෙහෙළිකර තාවකාලිකව වගා කටයුතු සඳහා උපයෝගීකර ගැනීම මුළුමනින්ම තහනම් කිරීමට පවතින නීතිරීති සක්‍රිය කිරීම බලධාරීන්ගේ වගකීමක් බව පෙන්වා දෙමි.

කෙසේ වුවද සමහර ප්‍රදේශ ඉතා අවදානමට ලක්විය හැකි බැවින් ඒවා කෘෂිකර්මාන්තය උදෙසා පරිහරණය කිරීම සම්පූර්ණයෙන්ම බැහැරකිරීමට යොමුවිය යුතුය. එවැනි කලාප කෘෂි වන වගාව, නැවත වන වගාව සහ තෙත්බිම් ලෙස සංවර්ධනය කිරීම ඇතුළු ස්වභාවධර්මය පදනම් කරගත් උපාය මාර්ග, කදු බෑවුම් ආශ්‍රිත පස ස්ථාවර කිරීමට, ඛාදනය අඩු කිරීමට සහ අවදානමට ලක්විය හැකි භූ දර්ශනවල ජල ප්‍රවාහ නියාමනය කිරීමට උපයෝගීකරගත හැකි වේ. එමෙන්ම පළාත් පාලන ආයතන නතුකරගෙන ඇති සියළුම ආකාරයේ ලොකු, කුඩා වැව් හා තෙත්බිම් ඒවායේ පරිපාලනයෙන් බැහැරකර වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණයට නතුකිරීමෙන් බොහෝ අක්‍රමවත් ජලවහන ක්‍රමවේද යථාවත් කරගැනීමේ පුළුල් ඉඩප්‍රස්ථාවක් නිර්මාණය කරගත හැකි වේ.

ස්වාභාවිකව සිදුවිය හැකි ගංවතුර හානිය හා නාය යාම් කුමන ආකාරයකින් හෝ අවමකර ගැනිමට අප උත්සුක විය යුතුමය. එසේ නොවුනහොත්  ගොවිතැන් කළහැකි ඉඩම්වල වටිනාකම් අඩු වන අතර ග්‍රාමීය ප්‍රජාවගේ ආර්ථික පදනම තවදුරටත් ඛාදනය කරනු ඇත. එමෙන්ම වගා හානිය, ආහාර ද්‍රව්‍ය හිඟය, අවතැන්වීම, ඔස්සේ කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් මිනිසුන්ගේ චිත්තපීඩා සහ මානසික ආතතිය දිගුකාලීන අනාරක්ෂිතභාවයට හේතු වනු ඇත. එහෙයින් දේශපාලනික හැඩතල වලින් බැහැරව සිදුවූ ව්‍යසනය හමුවේ ගොවීන්හට නැගී සිටීමට අවැසි මූල්‍ය හා පොදු පහසුකම් ප්‍රවේශය සඳහා ඉක්මනින්ම ඉඩකඩ විවිර කළ යුතු වේ. නැතහොත් මෙහි ප්‍රතිවිපාක ඉදිරි මැතිවරණයක තීරණාත්මක කඩඉමක් දක්වා විහිදී ඇදී යනු ඇත.

එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website