
මහාචාර්ය ඩබ්ලිව්.එම්.ජේ. වෙල්ගම, සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය, සබරගමුව විශ්වවිද්‍යාලය
හොරණ අඟුරුවාතොට ප්‍රදේශයේ වැඩිහිටි නිවාසක පසුගිය දා සිදු වූ ඛේදවාචකය සමඟ මෙරට වැඩිහිටියන්ගේ සුභසාධනය සහ රැකවරණය, වැඩිහිටි නිවාසවල ප්‍රමිතිය, නෛතික පසුබිම ආදිය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු වී තිබේ. මෙම ලිපිය මගින් ඉහත ගැටලු සම්බන්ධයෙන් සමාජ විද්‍යාත්මක විශ්ලේෂණයක් සිදුකෙරේ.

- වර්තමානය වන විට ලංකාවේ වැඩිහිටි ජනගහනය සම්බන්ධ ප්‍රවණතා මොනවා ද ?, විශේෂයෙන් 2024 ජනසංගණනයෙන් හෙළිවන ප්‍රවණතා මොනවා ද ?
2024 දී නිකුත් කළ ජන සංගණන වාර්තාවට අනුව ලංකාවේ සමස්ත ජනගහනයෙන් 18%ක් අවුරුදු 60ට වැඩි වැඩිහිටියන් විසින් නියෝජනය කරනවා. නමුත් 2012 දී සිදු කළ ජන සංගණනය අනුව අවුරුදු 60ට වැඩි ජනගහනය 12%ක් පමණ අගයකයි තිබුණේ. වර්තමාන ප්‍රවණතා අනුව 2040 වන විට මෙරට වැඩිහිටි ජනගහනය 25%ක් දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. මේ අනුව දකුණු ආසියාවේ වැඩිහිටි ජනගහනය වේගයෙන් ඉහළ යන රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුනා ගෙන තිබෙනවා.
- වැඩිහිටි ජනගහනය තුළ ස්ත්‍රී – පුරුෂ භාවය අනුව යම්කිසි පරතරයක් හෝ ප්‍රවණතාවක් තිබෙනවා ද ?
ලංකාවේ ජනගහනය තුළ කාන්තාවන්ගේ ප්‍රතිශතය 51.7%ක් වෙනවා. පුරුෂයින්ගේ අනුපාතය 48.3%ක්. ඒ වගේම කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 80ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර පිරිමින්ගේ උපරිම ආයු අපේක්ෂාව අවුරුදු 76ක් පමණ වෙනවා. කලාපයේ අසල්වැසි රටවල් හා සංසන්දනය කිරීමේදී මෙරට ආයු අපේක්ෂාව ඉහළ අගයක් ගන්නා බව පැහැදිලි වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව ඉන්දියාවේ ආයු අපේක්ෂාව පිරිමි පුද්ගලයින්ගේ අවුරුදු 65ක් වන අතර කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 69ක් පමණ වෙනවා. මේ අනුව ලංකාවේ වැඩිහිටි ජනගහනයේ විශාල පිරිසක් කාන්තාවන් විසින් නියෝජනය කරනවා.
- ලංකාවේ වැඩිහිටි ජනගහනය වර්ධනය වීම සමාජ විද්‍යාත්මකව විශ්ලේෂණය කරන විට අර්බුදයක් ද වාසියක් ද ?
ලංකාවේ වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වය අනුව වැඩිහිටි ජනගහනය පුළුල් වීම අර්බුදයක් බවට පත්ව තිබෙනවා. වේගයෙන් ප්‍රසාරණය වන වැඩිහිටි ජනගහනය ආර්ථික, සෞඛ්‍ය සහ සුබසාධන ආදි ක්ෂේත්‍ර ගණනාවක සංකීර්ණ අර්බුද රැසක් නිර්මාණය කරමින් සිටිනවා. අකමැත්තෙන් වුවත් අපට පිළිගන්න වෙනවා අපේ රටේ වැඩිහිටි ජනගහනය රටට බරක් බවට පත්ව සිටිනවා.
- ඔබ කියන වැඩිහිටි ජනගහනය අවිධිමත් අංශයේ රැකියා තුළ පුළුල් නියෝජනයක් කරනවා නේද ?
අපේ වැඩිහිටි ජනගහනයෙන් බහුතර පිරිසක් ජීවිකාව කර ගෙන යන්නේ අවිධිමත් අංශයේ. අපේ වැඩිහිටි ජනගහයෙනුත් විශාල පිරිසක් අවිධිමත් අංශයේ ආර්ථික කටයුතු වල නියැලෙනවා. අපි දන්නවා අවිධිමත් අංශයේ රැකියා කරන බහුතර පිරිසකට ආර්ථික සුරක්ෂිතතතාවයක් නැහැ. අපේ වැඩිහිටි ජනගහනයෙන් බහුතර පිරිසක් අවිධිමත් අංශයේ රැකියා කිරීම තුළින් යළි බරපතළ ගැටලු සහ අභියෝග නිර්මාණය වෙනවා. වර්තමානයේ පවතින ඉහළ උද්ධමනය සහ රුපියල අවප්‍රමාණය වී ආදිය ද වැඩිහිටි ජනතාවගේ ආර්ථික සුරක්ෂ්තභාවයට බරපතළ තර්ජනයක් එල්ල කර තිබෙනවා.
- වැඩිහිටි ජනගහණයේ ප්‍රමාණාත්මක වර්ධනය සෞඛ්‍ය පද්ධතියට අමතර පීඩනයක් එල්ල කරනවා කියන ප්‍රකාශයට ඔබත් එකඟ ද?
ඔව්, වැඩිහිටි ජනගහනය ඉහළ යාම හේතුවෙන් මෙරට සෞඛ්‍ය පද්ධතියට බරපතළ පීඩනයක් මේ නිසා ඇති වෙනවා. ඒකට හේතු ගණනාවක් තිබෙනවා. වැඩිහිටි වියට පැමිණි විට ලෙඩ රෝග ඉහළ යනවා, සුලභ වෙනවා. වර්තමානය වන විට බෝ නොවන රෝග අපේ රටේ සුලභ වෙමින් තිබෙනවා. මෙරට ජනගහනයෙන් 20%කට අධික ප්‍රමාණයක් බෝ නොවන රෝග සමඟ ජීවත් වෙනවා. මෙරට ජනගහයෙන් 10%ක් පමණ අධික රැධිර පීඩනයෙන් පෙළෙනවා, 8-9%ක් පමණ පිරිසක් දියවැඩියාවෙන් පෙළෙනවා. පසුගිය වසර පහ තුළ පිළිකා රෝගීන්ගේ 40%කට අධික වර්ධනයක් දකින්න පුළුවන්. මේවා කිසිසේත් යහපත් දත්ත නොවෙයි. ප්‍රමාණවත් තරම් ආර්ථික සුරක්ෂිතතාවයක් ද නොමැතිව මේ ආකාරයෙන් වැඩිහිටි ජනගහනය වර්ධනය වීම තුළ සංකීර්ණ සෞඛ්‍ය ගැටලු ගණනාවක් නිර්මාණය වෙනවා. ඒ වගේම තමයි ලංකාවේ ප්‍රමාණවත් තරමින් ළමා රෝග විශේෂඥයින් සිටියත් වැඩිහිටි ජනතාව වෙනුවෙන් කැප වූ වෘධ වෛද්‍ය විශේෂඥයෝ නැහැ. මේ හරහා අපට පැහැදිලි වන කරුණ තමයි අපේ වැඩිහිටියන් රැක ගැනීම වෙනුවෙන් අපට කෙටි කාලීන හෝ දිගුකාලීන පිළියම් නැහැ. ඒ වගේම තමයි අපේ සෞඛ්‍ය පද්ධතියේ ප්‍රමාණවත් දියුණුවකුත් සිද්ධ වෙලා නැහැ, විශේෂයෙන් යටිතල පහසුකම් ප්‍රමාණවත් තරම් සංවර්ධනය වෙලා නැහැ.
- අපේ වැඩිහිටියන් අතර මානසික සෞඛ්‍ය ගැටලු සම්බන්ධ ප්‍රවණතා මොනවා ද ?
මානසික සෞඛ්‍ය ගැටලු අපේ රටේ වැඩිහිටියන් මුහුණ දෙන බරපතළ ප්‍රශ්නයක් බව මේ වන විට පිළිගන්නවා. විශේෂයෙන්ම මානසික අවපීඩනය, සාංකාව, හුදකලාව නිසා ඇති වන පසුගාමී මානසික තත්ත්වය, ඩිමෙන්ෂියාව වැනි රෝග ලංකාවේ වැඩිහිටියන් අතර වේගයෙන් වර්ධනය වෙනවා. මේක වඩාත් ගැඹුරු සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට පත්වෙන්නේ අපේ වැඩිහිටියන්ව රැක බලා ගැනීමට තිබෙන යාන්ත්‍රණයේ පවතින දුර්වලතා නිසයි.
- වැඩිහිටි නිවාස මේකට විසඳුමක් ලෙස ඔබ දකිනවා ද ?
ජපානය, එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය වැනි සංවර්ධිත රටවල් ගත්විට ඔවුන්ගේ වැඩිහිටි ජනගහනයට ප්‍රමාණවත් තරම් වැඩිහිටි නිවාස තිබෙනවා. උදාහරණයක් ලෙස මහා බ්‍රිතාන්‍ය තුළ වැඩිහිටි නිවාස 16,000කට අධික ප්‍රමාණයක් තිබෙනවා. නමුත් ලංකාවේ මුළු වැඩිහිටි නිවාස ප්‍රමාණය 500කට අඩුයි. ඒ වගේම වැඩිහිටි නිවාසවල ජීවත් වෙන්නේ අපේ සමස්ත වැඩිහිටි ජනගහනයෙන් 01%කටත් වඩා අඩු පිරිසක්. මම හිතන ආකාරයට අපේ වැඩිහිටියෝ 12,000ක් පමණ ප්‍රමාණයක් තමයි වැඩිහිටි නිවාසවල ජීවත් වෙන්නේ. ඉතිරි 99%ම ජීවත් වෙන්නේ පවුල සමඟයි.
- අපේ වැඩිහිටියෝ පවුල් සමඟ ජීවත් වීම යහපත් තත්ත්වයක් නේද ?
ඔව්, නමුත් අපේ පවුල් ඒකක වලින් වැඩි ප්‍රතිශතයක් විස්කෘත පවුල් ලෙසයි පවතින්නේ. මේ පවුල් වලත් සාමාජිකයින් සංඛ්‍යාව ඉතා වේගයෙන් සීමා වෙමින් තිබෙනවා. ඒ වගේම වැඩිහිටියන්ව රැකබලා ගන්න හැකියාවක් මේ බහුතරයක් පවුල්වලට නැහැ, ඒ වගේම අවශ්‍ය පහසුකම් සහ ආර්ථික ශක්තියක් නැහැ. ඒ වගේම අපේ පවුල්වල සාමාජිකයින්, විශේෂයෙන් තරුණ ප්‍රජාව විශාල වශයෙන් විදේශ ගත වෙනවා. ග්‍රාමීය ප්‍රජාව තුළ නගර වෙත සංක්‍රමණය වෙනවා. මේ පසුබිම තුළ වැඩිහිටියන් පවුල තුළ හුදකලා වෙනවා. මේ හුදකලාභාවය සමඟ වැඩිහිටියන් අතර පවතින මානසික රෝග වේගයෙන් ව්‍යාප්ත වීමට පුළුවන්. මේ පසුබිම තුළ සියදිවි නසා ගැනීමේ අවදානමත් වේගයෙන් ඉහළ යමින් තිබෙනවා. ඒ වගේම නවතම දත්ත අනුව වැඩහිටියන් අතර සියදිවි නසා ගැනීමේ අනුපාතය ඉහළ අගයක් ගන්නවා. මේ පසුබිම තුළ ඩිමෙන්ෂියා තත්ත්වය අපේ වැඩිහිටියන් අතර වේගයෙන් ඉහළ යාමේ අවදානමක් තිබෙනවා.
- ලංකාවේ වැඩිහිටියන් සම්බන්ධ නෛතික රැකවරණයක් තිබෙනවා ද ?
2000 අංක 9 දරන වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත අපේ වැඩිහිටියන් සඳහා අවශ්‍ය රැකවරණය ලබා දෙනවා. ඒ වගේම ‘ශ්‍රී ලාංකික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පිළිබඳ ජාතික ප්‍රඥප්තිය සහ ජාතික ප්‍රතිපත්තිය’ සඳහා 2006 වර්ෂයේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබුණා. ඒ අනුව 2025 වර්ෂයේ දී ‘ගෞරවනීය ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් – අර්ථවත් විශ්‍රාම දිවියක්’ තේමාව අනුව යමින් වැඩිහිටියන්ට සමාජීය, ආර්ථිකමය, ශාරීරික සහ ආධ්‍යාත්මික වශයෙන් තෘප්තිමත් වූ ජීවිතයක් ගත කිරීම සඳහා පහසුකම් සැපයීමට හැකි වන පරිදි ‘ශ්‍රී ලංකාවේ වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය’ සකස් කළා. ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටිනවා. නමුත් මගේ නිරීක්ෂණය අනුව දීර්ඝ කාලීනව වැඩිහිටියන් රැකබලා ගැනීම පිළිබඳ ප්‍රතිපත්තියක් ලංකාවේ සම්පාදනය කරලා නැහැ. මගේ අදහස අනුව දීර්ඝ කාලීනව වැඩිහිටියන් රැකබලා ගැනීමේ ප්‍රතිපත්තියක් ලංකාවට අවශ්‍යයි. එවැනි ප්‍රතිපත්තියක් තිබුණා නම් පසුගිය දා හොරණ අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ සිදු වූ ආකාරයේ ඛේදවාචකයක් සිදුවෙන්නේ නැහැ.
- වැඩිහිටි නිවාස සම්බන්ධයෙන් ප්‍රමාණවත් නෛතික ප්‍රතිපාදන තිබෙනවා ද ?
ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය සහ වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාව 2000 දී සම්මත කළ ‘ශ්‍රී ලංකාවේ වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික ප්‍රතිපත්තියේ’ වැඩිහිටි නිවාස ඇතුළු වැඩිහිටියන්ගේ සුරක්ෂිතතාවය සම්බන්ධ ප්‍රතිපාදන අන්තර්ගතයි. විශේෂයෙන් වැඩිහිටි නිවාස සම්බන්ධ දැඩි නියාමනයක් සහ ප්‍රමිතියක් ඒ තුළ අන්තර්ගතයි. නමුත් ප්‍රශ්නය අපි හිතනවාට වඩා සංකීර්ණයි. නීතියේ හිඩැස් සහ විවිධ හේතු සහිතව අනීතිව වැඩිහිටි නිවාස රැසක් රට තුළ පවත්වා ගෙන යනවා. අපේ රටේ නීත්‍යානුකූල වැඩිහිටි නිවාස වලට වඩා වැඩි සංඛ්‍යාවක් අනීතිකව, විවිධාකාර පරමාර්ථවලින් පවත්වා ගෙන යනවා. මේක දැඩිව අවධානයට ලක්විය යුතු කරුණක්. නමුත් නීතියේ හිඩැස් සහ තවත් බොහෝ සාධක මත මේ ජාවාරම සිදු වෙනවා. මේ සම්බන්ධයෙන් අපි බොහෝ දෙනෙකුට නීරස අත්දැකීම් තිබෙනවා. ඇතැම් අත්දැකීම් ඉතාම බිහිසුණුයි, වේදනාකාරීයි. අද බොහෝ අනීතික වැඩිහිටි නිවාස ජාවාරම්කරුවන්ගේ කෙළිබිම් බවට පත්ව තිබෙනවා. බොහෝ ජාවාරම්කරුවන් වැඩිහිටි නිවාසවලට මුවාවෙලා මත්ද්‍රව්‍ය ඇතුළු ජාවාරම් කරනවා.
- ඔබ හිතන ආකාරයට මෙවැනි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන්නේ කොහොම ද ?
මූලිකව නීතියේ හිඩැස්වලින් ජාවාරම්කාරයෝ රිංගා ගෙන යනවා. ඒ වගේම මුදලට, අල්ලසට ඕනෑම දෙයක් කර ගන්න පුළුවන් තත්ත්වයක් තිබෙනවා. මේ පසුබිම තුළ මුදල් ගරන්න, ජාවාරම් කරන්න ඇතැම් පුද්ගලයෝ බොහොම පහසුවෙන්, ජයට වැඩිහිටි නිවාස පවත්වා ගෙන යනවා. ප්‍රමිතිය ආදිය ඔවුන්ට වැදගත් නැහැ. ඒ වගේම ඒ ආයතන නිසි අධීක්ෂණයකට ලක් වෙන්නෙත් නැහැ. ඒ නිසා තමයි අඟුරුවාතොට වැනි බිහිසුණු සිදුවීම් වුණේ.
- වැඩිහිටි රැකවරණය සහ සුභසාධනය සම්බන්ධයෙන් රජය විසින් ඉටු කළ යුතු කාර්යභාරය සම්බන්ධයෙන් ඔබට අදහසක් තිබෙනවා ද ?
මගේ අදහස අනුව වැඩිහිටි රැකවරණය සහ සුභසාධනය වෙනුවෙන් රජයට විශාල වගකීමක් පැවරෙනවා වගේම රජය විශාල කාර්යභාරයක් ඉටුකළ යුතුව තිබෙනවා. මුලින්ම මේක ජාතික ප්‍රශ්නයක් බව පිළිගත යුතුයි. ඒ වගේම අපේ රටේ තියෙන්නේ ආර්ථික ප්‍රශ්නයක් නිසා ප්‍රථමයෙන්ම මේ වැඩිහිටි ප්‍රජාවගේ ආර්ථික සුරක්ෂිතතාවය තහවුරු කළ යුතුයි. මගේ අදහස නම් මේ වැඩිහිටියන්ට කුමනාකාරයේ හෝ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කළ යුතුයි. නමුත් අපේ රටේ එවැනි ක්‍රමයක් තව බොහෝ කාලයකට හැදෙන ආකාරයක් දැකගත නොහැකියි. ඒ වගේම අවිධිමත් අංශයට යම්කිසි පාරිතෝෂිත ක්‍රමයක් හෝ රක්ෂණක්‍රමයක් නිර්මාණය කළ යුතුයි. ඒ වගේම උද්ධමනය ඉහළ යන විට ඔවුන්ගේ ක්‍රය ශක්තිය පිරිහීමට ලක්වෙනවා. බොහෝ රටවල් වැඩිහිටියන්ගෙන් බදු අයකර ගැනීමට යන්නේ නැහැ. ඔවුන්ට බදු සහන හෝ අත්හිටුවීම් ලබා දෙනවා.
- අපේ වැඩිහිටියන්ගෙන් අති බහුතරය දියවැඩියාව, හෘද රෝග ආදි බෝ නොවන රෝග වලින් පීඩා විඳිනවා. ඔවුන්ගේ විශ්‍රාම වැටුපෙන් හෝ වෙනත් ආදායම්වලින් සැලකිය යුතු මුදලක් මේ වෙනුවෙන් වැය වෙනවා. මේ ගැන ඔබේ අදහස කුමක් ද ?, මේකට යම්කිසි පිළියමක් යෙදීම වැදගත් නේද ?
ඔව්, ඒක ඉතාම වැදගත් කාරණයක්. වැඩිහිටි සෞඛ්‍ය සහ ඔවුන්ගේ ඖෂධ සම්බන්ධයෙන් යම්කිසි ජාතික ප්‍රතිපත්තියක් මෙහිදී ඉතාම වැදගත්. ඒ වගේම බොහෝ වැඩිහිටියන් ප්‍රවාහන හා ගමනාගමන දුෂ්කරතා හේතුවෙන් වෛද්‍ය සායන ආදියට පැමිණීමට නොහැකිව පීඩා විඳිනවා. බොහෝ රටවල් මෙවැනි ජ්‍යෙෂ්ඨ වැඩිහිටියන් වෙනුවෙන් ජංගම සායන ක්‍රියාත්මක කරනවා. මෙවැනි වැඩපිළිවෙළක් අපිටත් ක්‍රියාත්මක කළ හැකි නම් දුෂ්කර පළාත්වල ජීවත් වන අඩු ආදායම්ලාභී වැඩිහිටියන්ට ඒක විශාල සහනයක් වෙයි කියලා හිතනවා. අපේ ආර්ථික තත්ත්වයත් එක්ක මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට හැකියාවක් තිබෙනවා ද යන්න ගැන මට අදහසක් නැහැ. නමුත් මේවා ක්‍රියාත්මක කළ යුතු දේවල් ලෙස මම දකිනවා. අපිට මොනවා හරි ක්‍රමයක් හදා ගන්න පුළුවන් කියලා මම හිතනවා. මේවා ජාතික ප්‍රතිපත්ති විය යුතුයි. ඒ වගේම රෝග බෝවීමට හෝ අවදානම ඉහළ යාමට පෙර හඳුනා ගැනීමට හැකියාවක් තිබෙනවා නම් ඒක ඉතාම වැදගත්. මේ වෙනුවෙන් කල්තියා රෝග හඳුනා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට හැකියාව තිබෙනවා. උදාහරණයක් ලෙස බොහෝ රටවල් අවුරුදු 50-55 වගේ වයස්වල පසුවන වෘත්තිකයින්ට ඊළඟ සේවා උසස් වීමට යන විට සම්පූර්ණ සෞඛ්‍ය පරීක්ෂාවක් නිර්දේශ කරනවා. මෙවැනි වයසකදී පූර්ව රෝග හඳුනා ගැනීම අනිවාර්ය කිරීමක් කරන්න පුළුවන් නම් ඒක ඉතාම යහපත් තත්ත්වයක් වෙනවා. මේවා ප්‍රතිපත්තිමය තීන්දු විය යුතුයි. කිසිවෙකුට පැහැර හැරිය නො හැකි ආකාරයට දැඩි තීන්දු මත ක්‍රියාත්මක විය යුතුයි.
- ඔබ හිතන ආකාරයට අපේ සෞඛ්‍ය සේවය තුළ යම්කිසි ධනාත්මක වෙනසක් සිදුවිය යුතුයි ද ?
ඔව්, ළමුන්ගේ සෞඛ්‍ය රැකවරණය වෙනුවෙන් ලංකාවේ ඉතාම විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. එය බිම් මට්ටම දක්වා සක්‍රීයව ක්‍රියාත්මක වෙනවා. මම හිතනවා මේ ආකාරයට අපේ ජ්‍යෙෂ්ඨ වැඩිහිටියන් වෙනුවෙන් ද ඔවුන් සමීපයටම ගොස් අවශ්‍ය සෞඛ්‍ය රැකවරණය ලබා දෙන වැඩපිළිවෙළක් ක්‍රියත්මක කිරීමට හැකි නම් ඒක ඉතාම වැදගත්. විශේෂයෙන් ළමා සෞඛ්‍ය ගැන වගේම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සෞඛ්‍ය රැකවරණය ඉතාම වැදගත් කාර්යයක් ලෙස සැලකිය යුතුයි. ඒ වෙනුවෙන් නිසි යාන්ත්‍රණයක් සහ සම්පත් වෙන් කළ යුතුයි.
- විශේෂ අවශ්‍යතා ඇති වැඩිහිටියන් සම්බන්ධයෙන් කුමක් කළ යුතුද ?
මේක ඉතාම වැදගත් අංශයක්. විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් ලක්ෂ 7.5ක් පමණ අපේ රටේ ඉන්නවා. ඔවුන්ගෙන් වැඩි පිරිසක් වැඩිහිටියන්. නමුත් ඔවුන් වෙනුවෙන් ප්‍රමාණවත් වැඩපිළිවෙළක් මේ දක්වා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් ද රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත යුතුයි. විශේෂයෙන් ස්වේච්ඡා සංවිධාන ප්‍රවර්ධනය හරහා මේ පිරිසට සැලකිය යුතු රැකවරණයක් ලබා දෙන්න පුළුවන්කම තිබෙනවා.
සටහන – භාතිය බරුකන්ද
රතුඉර පුවත්පතේ 2026 ජූනි 14 දින ප්‍රකාශයට පත්කරන ලද ලිපියකි.
















