ඉන්දියාවේ සංචාරය කරන ශ්‍රී ලාංකික බැතිමතුන් සඳහා නොමිලේ වීසා ක්‍රමය නැවත ස්ථාපිත කර ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
ඒ අනුව, ජූලි 7 වන දින නොමිලේ වීසා ක්‍රමය නැවත ආරම්භ කර ඇත.
මෙම වැඩසටහන යටතේ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් නිර්දේශ කරන ලද පුද්ගලයින් 10කට වැඩි පිරිසකගේ වන්දනා කණ්ඩායම් වීසා ගාස්තු වලින් නිදහස් කෙරේ.
කොළඹ, මහනුවර, යාපනය, හම්බන්තොට සහ මඩකලපුවේ පිහිටි ඉන්දීය කොන්සියුලර් කාර්යාල හරහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.
වයස අවුරුදු 12 ත් 70 ත් අතර අයදුම්කරුවන් ජෛවමිතික දත්ත ලබා දීම අවශ්‍ය වන අතර, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ වේගවත් ක්‍රියාවලියක් හඳුන්වා දී ඇත.
වීසා බලපත්‍රය නොමිලේ නිකුත් කළ ද, අයදුම්කරුවන් කොළඹ පිහිටි ඉන්දීය කොන්සියුලර් අයදුම්පත් මධ්‍යස්ථානයට රුපියල් 1,855ක සේවා ගාස්තුවක් ගෙවිය යුතු බව ද නිවේදනයේ සඳහන් වේ.
නව වීසා සේවා සපයන්නෙකු පත් කිරීම හේතුවෙන් සේවාව තාවකාලිකව අත්හිටුවා තිබූ බව ද මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.












