
“සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව යටතේ අද (ජූලි 27) සිට ජූලි 31 දක්වා ක්‍රියාත්මක කරන ජාතික සුපිළිපන් සතිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (27) පෙරවරුවේ ආරම්භ විය.
ඊට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රමුඛ සියලුම රාජ්‍ය ආයතනවල ‘ජාතික සුපිළිපන් දිවුරුම‘ ලබා දීම සිදු වූ අතර, ඊට අදාළව ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් සඳහා වන ආචාරධර්ම සංග්‍රහය ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සහ අභ්‍යන්තර කටයුතු ඒකක ප්‍රධානී චානකී රණතුංග මහත්මිය විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත භාරදෙනු ලැබීය.
සුපිළිපන්භාවය (Integrity) යන්නෙහි සැබෑ අර්ථය හුදෙක් අල්ලස සහ දූෂණයෙන් තොර වීම පමණක් නොව කිසිවෙකු ඔබ දෙස බලා නොසිටින විට පවා, හෘද සාක්ෂියට අනුකූලව නිවැරදි දේ කිරීම බව ජාතික සුපිළිපන් සතියේ ආරම්භක අවස්ථාව ආමන්ත්‍රණය කරමින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව, යම් නිලධාරියෙකු දූෂණ ක්‍රියාවක නිරත නොවුණද, ඔහු තම රාජකාරිය නිසි ලෙස ඉටු නොකරන්නේ නම් ඔහුගේ සුපිළිපන්භාවය පලුදු වන බව ජනාධිපති ලේකම්වරයා අවධාරණය කළේය.
කෙසේ වුවද, රාජ්‍ය නිලධාරීන් යනු දූෂිත පිරිසක් හෝ සුපිළිපන්භාවයක් නැති පිරිසක් ලෙස සලකා කටයුතු කිරීම රජයේ ප්‍රතිපත්තිය නොවන බව පැවසූ ජනාධිපති ලේකම්වරයා ඔවුන් තුළ පවතින සුපිළිපන්භාවය සහ හරි දේ කිරීමට ඇති කැමැත්ත තවදුරටත් වර්ධනය කිරීම “සුපිළිපන් සතියේ” මූලික පරමාර්ථය බව අවධාරණය කළේය.
මෙම සතිය ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ, මෙරට රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ පාරදෘශ්‍යභාවය ඉහළ නැංවීම මෙන්ම දූෂණයෙන් තොර ආදර්ශවත් පරිපාලන ව්‍යුහයක් ගොඩනැංවීම තුළින් ස්වයං විනයකින්, ස්වයං පාලනයකින් සහ ස්වයං අධීක්ෂණයකින් යුතුව හෘද සාක්ෂියට එකඟව නිවැරදි, විනිවිදභාවයකින් යුතු සහ සදාචාරාත්මක රාජ්‍ය සේවයක් මෙරට ස්ථාපිත කිරීම බව ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
සමාජයක් අල්ලස සහ දූෂණය දෙසට ගමන් කරන විට එය පුද්ගල සුපිළිපන්භාවයට විශාල අභියෝගයක් බැවින් රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශය සහ පොදු මහජනතාවද නීතිගරුක, උසස් මානසික ගුණාංග සහිත පිරිසක් බවට පත්විය යුතු බව ඔහු සඳහන් කළේය.
එහිදී සමාජයේ පවතින ගුණාත්මකභාවය ඉහළ තලයකට ඔසවා තැබීම සහ යහපත් ගුණාංග වර්ධනය කිරීම “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේ මූලික අභිප්‍රාය වන අතර, සුපිළිපන්භාවය පිළිබඳ සංකල්පයද එය සමඟ සමීපව බැඳී පවතින බවත් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පැවසීය.
කෙසේ වුවද, පසුගිය කාලසීමාව පුරා සමාජය තුළ මෙම සංකල්පයට නිසි වටිනාකමක් හෝ ඇගයීමක් නොලැබුණු බව සඳහන් කළ ජනාධිපති ලේකම්වරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අරමුණ වන්නේ එම ජරාජීර්ණ තත්ත්වයෙන් සමාජය මුදවා ගැනීම බව අවධාරණය කළේය.
ඒ අනුව, පසුගිය වසර එකහමාරක කාලය තුළ රාජ්‍ය ආයතන 350ක පමණ අභ්‍යන්තර කටයුතු ඒකක ස්ථාපිත කර ඇති අතර, රාජ්‍ය ආයතනවල සිදු වන අකටයුතුකම් සෘජුවම එම ඒකකවලට දැනුම් දිය හැකි අතරම, මෙම ඒකකවල ක්‍රියාකාරීත්වය මාර්ගගත පද්ධතියක් ඔස්සේ අධීක්ෂණය කිරීමට අවශ්‍ය ක්‍රමවේද සකස් කර ඇති බවද ඔහු පැවසීය.
සමාජය වෙනස් වන තෙක් බලා නොසිට, රාජ්‍යතන්ත්‍රය තුළ අලුත් ක්‍රමවේද හඳුන්වා දෙමින් ජනතාවට සුපිළිපන් ගමනක් යාමට අවශ්‍ය මාර්ගය සකස් කර ඇති බව ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන්නේය.
ඉහළ සුපිළිපන්භාවයකින් යුතු රාජ්‍ය සේවයක් සහ සමාජයක් ගොඩනැගීම රජයේ අපේක්ෂාව බවත්, ඒ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු සමස්ත රාජ්‍ය සේවයේම සහයෝගය අපේක්ෂා කරන බවත් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අවධාරණය කළේය.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ජනාධිපති අතිරේක ලේකම් (ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය) එස්. පී. සී සුගීෂ්වර, ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ නීතීඥ ජේ.එම් විජේබණ්ඩාර, ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ප්‍රසන්න චන්දිත්, අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.














