මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටින යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් නඩුවකට පෙනී සිටීම සඳහා සුදුසු මානසික තත්ත්වයක පසු වන්නේ දැයි පරීක්ෂා කර බලා මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග අද (26) කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළේ ය.
එම අවස්ථාවේදී ඇප මත මුදා හැර සිටින විත්තිකරුවන් වන යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන විත්තිකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ.
රුපියල් මිලියන 73කට ආසන්න වත්කම් හා දේපළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව මෙම නඩුව නීතිපතිවරයා ගොනු කර තිබේ.
පෙර නඩු විභාගයේදී, ෆොරස්ට් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා, 2017 මාර්තු 17 වන දින ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරන ලද නියෝගයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ තම සේවාදායකයා ඩිමෙන්ශියාවෙන් හා ඇල්සයිමර් රෝගයෙන් පෙළෙන බවත් එබැවින් ඇයට එරෙහිව අධිචෝදනා පත්‍රය ඉදිරියට ගෙන යාම අසාධාරණ වනු ඇති බවත්ය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට දන්වා සිටියේ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉදිරිපත් කරන ලද නියෝගය වර්තමාන මහාධිකරණ නඩුවට අදාළ නොවන බවත් එය එවකට ඇයගේ වෛද්‍ය තත්ත්වය ගැන පමණක් සඳහන් කළ බවත්ය. දෙවන විත්තිකරු දැනට නඩු විභාගයට මුහුණ දීමට සුදුසු දැයි තීරණය කිරීම සඳහා නව විශේෂඥ මනෝචිකිත්සක ඇගයීමක් ලබා ගන්නා ලෙස ඔහු ඉල්ලා සිටියේය.
දෙපාර්ශ්වයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසු, විනිසුරුවරයා එම ඉල්ලීමට අවසර දුන් අතර, නඩු විභාගයට පෙනී සිටීමට ෆොරස්ට්ගේ වත්මන් මානසික හැකියාව පිළිබඳ විශේෂඥ මනෝචිකිත්සක වාර්තාවක් ලබා ගන්නා ලෙස කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කළ අතර නියෝගයේ පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යැවීමට ද නියෝග කළේය.
නඩුව ජනවාරි 22 වන දින නැවත කැඳවීමට ද විනිසුරුවරයා නියෝග කළේය.











