
හිරුඑළිය වැටෙන තැනක්, ජලය නොරැඳෙන බිමක්, ගැඹුරු පසක් අවශ්‍යයයි
ප්‍රභේද දෙකකින් පැල දෙකක් සිටුවන්න
අවධානය අඩු වුවහොත් බද්ධ පැලයක් සිටුවා ඇට පැලයකින් සැනසෙන්න වේවි !
දූරියන් වාරය මේ වනවිට නික්ම ගොසිනි. නැවතත් බහුල ලෙස දූරියන් ගස්වල මල් පිපෙන්නේ පෙබරවාරි මාසය ආසන්නයේදීය. තමාට ආදායමක් ලබාදුන් දූරියන් ශාකය බොහෝ දෙනෙකුට යළි මතක් වන්නේද ඒ කාලයටයි.
පල ඇති රුකට වවුලන් එන්නා සේ ගෙඩි හැදෙන කාලයට පමණක් දූරියන් ගසට සාත්තු කරන්නට ඉදිරිපත් වෙන සිරිත නිසා මෙරට තිබෙනා බහුතරයක් දූරියන් ශාක මේ වනවිට ඉතා අඩු පලදායීතාවයක් පෙන්වන ශාක බවට පත්වී තිබේ. දැනට තිබෙන වයස්ගත දූරියන් ශාක පසෙකින් තබා බද්ධ දූරියන් පැලයක් සිටුවා ගන්නට කැමති අය වෙනුවෙන් යම් උපදෙසක් දීම කාලීන අවශ්‍යතාවයක් වේ. මන්ද යත් හොරණ පලතුරු ආයතනයේ නිලධාරීන්ට ලැබෙන සුලභ පැමිණිල්ලක් වනුයේ සිටුවන ලද දූරියන් පැලය අතරමගදී හදිසියේ මැරීගිය බවයි. එසේ නැතහොත් වසර දහයක් ගියත් පල නොදරන බවයි. මෙම තත්වයන් දෙකටම හේතුව නිවැරදිව බද්ධ පැලය සිටුවීම හා නඩත්තුව සිදුනොවීම විය හැකි බව ඔවුන් පවසා සිටින්නේය.
තනි දූරියන් පැලයක් යම් තැනක සිටුවන්නේ නැතිව ප්‍රභේද දෙකකින් පැල දෙකක් සිටුවීම වඩාත් පලදායී වන බව අප පසුගිය ලිපි මගින් පෙන්වා දුන්නෙමු. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් දැනට දූරියන් ප්‍රභේද පහක් නිදහස් කර තිබෙන නිසා ප්‍රභේද දෙකකින් පැල සොයාගැනීම වගාකරුවන්ට අපහසුවක් නොවේ. කසුන්, අඹතැන්න, හොරණ ජම්බෝ, හොරණ ගෝල්ඩ් සහ ගන්නොරුව ස්වීට් වශයෙන් නම්කර ඇති මේවාහි බද්ධ පැල නිෂ්පාදනය, ගන්නොරුව, කරපිංච, වල්පිට, වීරපාන සහ හොරණ යන ප්‍රධාන ගොවිපොළවල් හි සිදුකෙරෙන අතර පෞද්ගලික තවාන් කරුවන් අතරද යම් පැල ප්‍රමාණයක් තිබේ. නිර්දේශිත ප්‍රභේද වලට අමතරව පෞද්ගලික අංශය සතුව ඔවුන් විසින් තෝරාගත් ප්‍රභේදයන්හි බද්ධ පැලද විකිණීමට ඇත. සිටුවීමේ පළමු පියවර වන්නේ නිවැරදිව භූමිය තෝරා ගැනීමයි. හොරණ පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ප්‍රධාන අභිජනන විද්‍යාඥ ඩබ්ලිව්. ඩී. ලෙස්ලි මහතා පලකරන්නේ ඒ සම්බන්ධයෙන් මෙවන් අදහසකි.
සාමාන්‍යයෙන් අලුත ලියලා ආ දූරියන් රිකිල්ල තිබෙන්නේ මඳක් ඇලයට. මෙය සිරස්ව සකසා ගත යුතු වෙනවා. මේ සඳහා පැලය සිටවූවාට පසු ඒ අසලින්ම පසතුලට යවන්න සවිමත් උල්කල කෝටුවක්. එය උල්කල එකක් විය යුත්තේ ඒ මගින් පැලයේ මුල් වලට සිදුවෙන හානිය අවම කිරීමට. දැන් කලයුත්තේ බද්ධ රිකිල්ල කෙලින් සිටින පරිද්දෙන් සිටවූ කෝටුවට ගැට ගැසීමයි.

“දූරියන් හොඳටම වැවෙන්නේ පහතරට හා අතරමැදි තෙත් කලාපයේ. ඒ වගේම සිටුවන භූමිය ගැනත් ආරම්භයේදීම සැලකිලිමත් වෙන්න වෙනවා. හොඳට ඉරඑලිය වැටෙන, හොඳින් වතුර බැසයන, ඒ වගේම මීටර් දෙකකවත් ගල් බොරළු නැති පාංශු ගැඹුරක් තිබෙන තැනක් තමයි තෝරා ගත යුත්තේ. භූ ජල මට්ටම උනත් ඉහල තියෙන්න හොඳ නෑ. කලින් රබර් හෝ මඤ්ඤොක්කා එහෙම තිබුනානම් සුදු මුල් දිලීර රෝගය දූරියන් පැලයටත් හැදෙන්න පුළුවන්. ඒ නිසා එවැනි භූමිත් මගහරින්න වෙනවා. පරිසරයේ වසරක් පුරාවට තෙත් මාස 9 ක් තිබෙනවානම් වඩාත් හොඳ බව කිවහැකියි.”
පැලය සිටුවීමට සති 2-3 කට පමණ කලින් ඊට අවශ්‍ය වන අඩි 3X3X3 ප්‍රමාණයේ වලක් සාදා ගත යුතුය. කැපූ වල දින දෙක තුනක් හිරුඑළියට නිරාවරණය වීමට තබා, කොම්පෝස්ට් හා මතුපිට පස් සම සමව ගෙන මිශ්‍රකර වල පිරවීමට හැකිනම් එය වඩාත් සුදුසු ක්‍රමයයි. එවැන්නක් අපහසුනම් වලෙහි භාගයක් මතුපිට පසෙන් පුරවා ඉතිරි භාගය ඉහත මිශ්‍රණයෙන් පිරවීම වුවත් වරදක් නැත. ඇතැමුන් කොම්පෝස්ට් සොයාගැනීමේ අපහසුතාවය නිසා වියලි ගොම වැනි දෙයක් ඒ වෙනුවට මිශ්‍ර කරති. එවිට ඒවා දිරා යමින් කොම්පෝස්ට් සෑදෙන්නේ අලුත සිටවූ පැලය සමගම නිසා වියලි ගොම දමන්නේ නම්, මාස එක හමාරකටවත් කලින් වල පිළියෙළ කරගත යුතුය.වලෙහි මතුපිට දාගැබක් සේ ඉහලට එසවෙන අයුරින් වැඩ අවසන් කල යුතුවේ. පැලය සිටුවන අවස්ථාව වනවිට මෙම උස අඩුවී සමතලා මතුපිටක් තිබේවි. දූරියන් වැවෙන පහතරට තෙත් කලාපයේ බොහොමයක් ස්ථානවල පස ආම්ලික තත්වයේ ඇති බැවින්, වල පුරවා ඇති මිශ්‍රණයට ඩොලමයිට් ග්‍රෑම් 500 ක් පමණත් එකතුකර කලවම් කරගන්නේ නම් මැනවි.
සිටුවීමට දින 2-3 කට පෙර කලයුත්තේ පුරවාගත් වලෙහි මධ්‍යස්ථ මතුපිට ප්‍රදේශය හාරා, බද්ධ පැලය ඇති බඳුනේ ප්‍රමාණයට වඩා ටිකක් විශාල වන පරිද්දෙන් තවත් වලක් සකසා ගැනීමයි. ඒ අවට පසට මූලික පොහොර මිශ්‍රනයද යොදා කලවම් කරගන්න. යූරියා ග්‍රෑම් 40 ක්, මියුරියේට් ඔෆ් පොටෑෂ් ග්‍රෑම් 30 ක් සහ ට්‍රිපල් සුපර් පොස්ෆේට් ග්‍රෑම් 60 ක් මේ සඳහා ප්‍රමාණවත්. සිටුවීමට යෝග්‍ය වන්නේ බද්ධකර මාස හයක්වත් ගතවූ හොඳින් මේරූ පැලයකි. ඇතැම් තවාන් මගින් ආර්ථික ප්‍රතිලාභ අරමුණු කරගෙන ලපටි පැල අලෙවිකරන අතර වගාකරුවන්ද නොදැනුවත්කම නිසා මේවා සිටුවා අමාරුවේ වැටේ. අප පවසන තරමේ මේරූ පැලයක රිකිල්ල බොහෝ විට අතු බෙදී තිබේ. මීට අමතරව බද්ධ සන්ධියේ ‘තුවාලය’ හොඳින් සුවවී පොත්ත ලියලා තිබේ. ඒ නිසා එවන් පැලයක් හඳුනාගැනීමේ අපහසුතාවයක් නැත.
“සාමාන්‍යයෙන් අලුත ලියලා ආ දූරියන් රිකිල්ල තිබෙන්නේ මඳක් ඇලයට. මෙය සිරස්ව සකසා ගත යුතු වෙනවා. මේ සඳහා පැලය සිටවූවාට පසු ඒ අසලින්ම පසතුලට යවන්න සවිමත් උල්කල කෝටුවක්. එය උල්කල එකක් විය යුත්තේ ඒ මගින් පැලයේ මුල් වලට සිදුවෙන හානිය අවම කිරීමට. දැන් කලයුත්තේ බද්ධ රිකිල්ල කෙලින් සිටින පරිද්දෙන් සිටවූ කෝටුවට ගැට ගැසීමයි. මේ ආකාරයට ඉහලට වැඩෙන්න රිකිල්ල මෙහෙයවීම අත්‍යවශ්‍යයි. ඒ වගේම අලුත සිටවූ පැලය අසල ජලය එකතුවෙන්න දෙන්නත් එපා. වටේට ඇති පස සැකසිය යුත්තේ පැලයෙන් ඉවතට ජලය ගලාගෙන යන ආනතියක් හැදෙන විධියට”.
සිටුවීමේදී අනුගමනය කලයුතු ක්‍රියාපිළිවෙත ලෙස්ලි මහතා සඳහන් කෙරුවේ එලෙසිනි. දැන් පැලයට අවශ්‍ය වන්නේ සෙවනේ වැඩෙන්නටය.අඩි හතරක් පමණ උසැති කෝටු හතරක් පැලය වටා කොන් හතරක සිටුවා නැගෙනහිර – බටහිර රේඛාවට සමාන්තරවන පරිදි 70% ක් පමණ සෙවන දෙන දැල් කැබැල්ලක් පැලයට ඉහලින් කෝටුවලට සවිකිරීමෙන් දවස පුරා සෙවනක් ලපටි පැලයට ලබාදිය හැකිවේ. මෙම දැල නැගෙනහිර – බටහිර රේඛාව දෙපැත්තෙන් පොලොව මට්ටම තෙක් දික්ව තිබෙන්නේ නම් හිරු උදාවේ සිටම අඳුර වැටෙන මොහොත දක්වාම පැලයට සෙවන සලසන බව ඔබට පැහැදිලිවනු ඇත. පැලය ස්වාධීනව වර්ධනය වීම ඇරඹුණු පසු සෙවන දැල සහ අසලින් සිටුවන ලද උල් කල දණ්ඩ ගලවා ඉවත් කල හැකිවේ. දැන් පැලයට හොඳින් සූර්යාලෝකය ලැබිය යුතුය.

බද්ධ කරන ලද අංකුරයට එලෙසම තිබියදී ග්‍රාහකයෙන් තවත් අංකුර ලියලා ඒම ඕනෑම බද්ධ පැලයක සාමාන්‍ය තත්වයක් වන අතර අලුත සිටවූ දූරියන් පැලයේ පහළින්ද එවන් අංකුර ලියලා ඒම සිදුවෙනු ඇත. මේවා බද්ධ අංකුරයට වඩා වේගයෙන් ඉහලට වැඩේ. ඒ නිසා කල්පනාකාරීව සිටිමින් ප්‍රධාන අංකුරය ඉතිරිකර අලුතෙන් වර්ධනය වෙන අංකුර ඉවත් කල යුතුවේ. කිසිවිටෙකත් පැලය පාමුල ආයුධ මගින් වල් ගැලවීම, පස බුරුල් කිරීම ආදිය නොකළ යුතුය. වල් ගලවන්නේ නම් කලයුත්තේ අතින් උදුරා දැමීම පමණකි.
“සිටවන ලද කෝටුවකට බැඳලා රිකිල්ල කෙලින් කරන්න කිව්වේ විශේෂ හේතුවක් ඇතුව. ඔය රිකිල්ල ඇදේටම තියෙන්න ඇරියොත් වගාකරුගේ අවධානය අඩුවෙනවා. ග්‍රාහකයෙන් අලුත් රිකිලි ඇවිත් වේගයෙන් ඉහලට හැදෙන්න ගතහොත් ඔහු හිතනවා පැලය හොඳට හැදෙනවා කියලා. ඔය අතරේ ඔහු දකිනවා පැත්තට ඇලවෙලා හැදෙන පොඩි අත්තක් හෙමිහිට වේලිලා මැරිලා යනවා. අත්තක්නේ මැරුනේ කියලා ඔහු හිත හදා ගන්නවා. ඒ මැරුනේ බද්ධ අංකුරය. දැන් වැවෙන්නේ ග්‍රාහකයෙන් ලියලා ආ රිකිලි. වෙනත් විධියකින් කියනවානම් මේ තියෙන්නේ නැවතත් ඇට සිටුවා ලබාගත් පැලයක්. ඉතින් අවුරුදු හත අටක් ගිහිල්ලා අපිට පැමිණිලි කරනවා බද්ධ පැලයේ තවමත් ගෙඩි නෑ කියලා.”
කෘෂි විද්‍යාඥ ලෙස්ලි මහතා තම අත්දැකීමක් ඇසුරෙන් සංවාදය අවසන් කෙරුවේ එලෙසිනි. බද්ධ දූරියන් පැලයක් තෝරාගැනීම, සුදුසු භූමියක සිටුවීම හා නඩත්තු කිරීම කෙතරම් විද්‍යාත්මකව කලයුතු දෙයක්දැයි මේ අනුව පැහැදිලි වෙනු ඇත.
සනත් එම්. බණ්ඩාර – හිටපු සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, ජාතික තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නොරුව, පේරාදෙණිය















