ගෙවත්ත විසිතුරු කරන ‘නයි මිරිස්’ වගාවක් ආරම්භ කරමු ද ?

නයි මිරිස් වගාව | scotch bonnet seed - YouTube

තමන්ගේ ගෙවත්ත මල්වලින් සරසා ගැනීමට හෝ විවිධ වර්ණ සංකලනයන්ගෙන් සමන්විත විසිතුරු පත්‍රිකා ශාක වගා කිරීමට අද ගෘහණියන් වඩාත් කැමතිය. එම වගාවන් මඟින් ගෙවත්තට මනා සිත් ඇදගන්න පෙනුමක් ලැබීම එයට හේතුවයි. කොච්චි එවැනිම පෙනුමක් ලබාගත හැකි අලංකාර වර්ණවලින් යුක්ත බෝගයකි. අද බොහෝ පැළ තවාන්වල විවිධ හැඩයෙන්, විවිධ වර්ණයෙන් යුක්ත කොච්චි වර්ග රාශියක් මිලදී ගැනීමේ හැකියාව තිබේ. අද වන විට බොන්සයි කලාව සදහාත් මෙම කොච්චි ප්‍රබේද භාවිතා කරයි.

සාමාන්‍යයෙන් එදිනෙදා ආහාර පිසීම සඳහා භාවිතා කරන්නේ (Capsicum annuum) යන මිරිස් විශේෂයයි. කොච්චි, හින් කොච්චි, නයි මිරිස් හා කැවුම් මිරිස් ලෙස හඳුන්වන සියලු මිරිස් වර්ග කැප්සිකම් චයිනෙන්ස් (Capsicum chinense) හා කැප්සිකම් ෆ්රුට්සන්ස් (Capsicum frutescens) විශේෂයන්ට අයත් වේ. මේවාහි පවතින විශේෂත්වය වන්නේ කරල් ඉතා සැරභාවයකින් යුක්තවීම හා ඒවාටම ආවේණික වූ සුවඳක් තිබීමයි. ලෝකයේ පවතින සැර අධිකම මිරිස් ලෙස ‘කැප්සිකම් චයිනෙන්ස්‘ – නයි මිරිස් දැක්විය හැකිය.

ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම වගා කළ හැකි මෙම ප්‍රභේද සඳහා දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොළෙහි ඉහළ ඉල්ලුමක් පවතී. කරලේ ප්‍රමාණය (දිග, පළල), හැඩය, වර්ණය, කරලේ පිහිටීම සැරභාවය හා සුව‍ඳින් මෙන්ම ශාකයේ විලාශයෙන්ද මේවා එකිනෙකට වෙනස් ලක්ෂණ පෙන්වයි. බොහෝ විට කොච්චි දර්ශයන් (හීන් කොච්චි, සුදු කොච්චි) කුරුල්ලන් මගින් ව්‍යාප්ත වේ. ඒවා රෝග හා පළිබෝධ හානිවලට මෙන්ම නියඟයටද ඔරොත්තු දේ.

පැළ සකසා ගැනීම

සාමාන්‍ය මිරිස් වගාවකදී මෙන් කොච්චි වගාවේදීත් පැළ බෝ කර ගැනීම සඳහා තවාන් යොදාගත හැකිය. කුඩා ප්‍රමාණයේ වගාවක් එනම් ගෙවතු වගාවක් සඳහා බඳුන්ගත තවානක් විදියට පැළ බෝ කර ගැනීමට පුළුවන. එසේ නැත්තම් තවාන් පාත්තියක් යොදා ගත හැකිය. වෙළෙඳපොළෙන් හෝ අලෙවිසලෙන් ලබා ගන්නා ඉදුණු කොච්චි කරල්වලින් ඇට වෙන් කර දිනක් පමණ අවුවේ වියළා තවාන් කර පැළ ලබා ගැනීම සිදුකර ගැනීම පහසුය. එසේ නැතිනම් විසිතුරු කොච්චි වර්ග, පැළ තවාන්වලින් හෝ බීජ වර්ග අන්තර්ජාලයෙන් ඇනවුම් කර ලබා ගත හැකිය.

බඳුන් මිශ්‍රණය

මතුපිට පස් හා දිරූ ගොම පොහොර වෙන වෙනම ගෙන සල්ලඩයකින් හෝ දැල් ගෝනියකින් හලා 1:1 අනුපාතයට මිශ්‍ර කර බඳුන් පිරවීම සිදුකළ යුතුය. මතුපිට පස්, ගොම පොහොර, වැලි හා දහයියා අඟුරු (කර දහයියා) 2:2:1:1 යන අනුපාතයට මිශ්‍රකර බඳුන් මිශ්‍රණය සාදා ගැනීම වඩා උචිතය. බඳුන් මිශ්‍රණය සඳහා යොදා ගන්නා පස් ජීවාණුහරණය කර ගන්නේ නම් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි වේ. බීජ සිටුවා දින 25-30ක් පමණ ගත වූ පසු පැළ බඳුන් තුළ සිටුවිය හැකිය.

සිටුවීමට යොදාගත හැකි බඳුන්

ගෙවතු වගාවක් ලෙස පැළ සිටුවීමේදී ඍජුවම ක්ෂේත්‍රයේ හෝ බඳුන් තුළ පැල සිටුවා ගැනීම සිදුකරයි. මෙහිදී ඉවතලන ටයර්, ප්ලාස්ටික් බාල්දි, බැරල්, ඉවතලන සහල් උර හෝ වෙළෙඳසැල් මඟින් මිලදී ගන්නා අගල් 10 – 15 පමණ පළල පොලිතින් බඳුන්, සිමෙන්ති මල් පෝච්චි සහ ප්ලස්ටික් මල් පෝච්චි බඳුන් ලෙස යොදා ගත හැකිය.

නිවසේදී අපි එදිනෙදා පරිභෝජනය කරන මිරිස්වලට සාපේක්ෂව සැර ගතිය අධික නිසා වැඩි කරල් ප්‍රමාණයක් අහාරය සඳහා එක් කළයුතු වන්නේ නැත.එසේම නයි මිරිස් වැනි කොච්චි වර්ග ආහාරයට එක් කිරීමෙන් ආහාරයට අවේණික රසයක් වගේම සුවඳක් එක් වේ. එමෙන්ම කොච්චි වියළා කෑලි මිරිස් ලෙසද සකසා ගත හැකි අතර සැර ගතිය සාමාන්‍ය කෑලි මිරිස්වලට වඩා ඉතාමත් ඉහළයි.

සටහන – ගිහාන් බුද්ධික වීරසූන්දර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website