විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (31) පාර්ලිමේන්තුවේ දී කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
මෙම සාකච්ඡාවේදී විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් කරන ලද නව ඉල්ලීම් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස කථානායකවරයා පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේය.
රැස්වීමට සහභාගී වූ විපක්ෂ මන්ත්‍රීවරුන් අවධාරණය කළේ සියලුම විපක්ෂ මන්ත්‍රීවරුන්ට ප්‍රමුඛතාවයක් ලෙස ආරක්ෂාව සැපයිය යුතු බවත්, එමඟින් ඔවුන්ට තම දේශපාලන කටයුතු බාධාවකින් තොරව ආරක්ෂිත පරිසරයක කරගෙන යාමට හැකි වන බවත්ය. ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා තර්ජන තක්සේරු වාර්තාවක් පසුව සකස් කළ යුතු බවත් ඔවුහු තවදුරටත් යෝජනා කළහ.
මෙම රැස්වීමට විපක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් සහ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සහභාගී වූහ. සාකච්ඡාව අතරතුර, සියලුම විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා වහාම පියවර ගන්නා ලෙස ඔවුහු කථානායකවරයාගෙන් ඉල්ලා සිටියහ.
මන්ත්‍රීවරුන් විසින් ආරක්ෂාව සඳහා කරන සියලු ඉල්ලීම් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට දැනටමත් දැනුම් දී ඇති බව කථානායකවරයා මෙහිදී පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතත්, හදිසි ගැටලු විසඳීම සඳහා එම ප්‍රතිපත්ති රාමුවෙන් ඔබ්බට පියවර ගෙන ඇති බව පැහැදිලි කළ කතානායකවරයා ඒ අනුව, සමහර මන්ත්‍රීවරුන් සඳහා දැනටමත් ආරක්ෂක විධිවිධාන සපයා ඇති බව සඳහන් කළේය.
රැස්වීමේදී අදහස් දක්වමින් පොලිස්පති වීරසූරිය මහතා පැවසුවේ, මේ සම්බන්ධයෙන් කරන ලද ඉල්ලීම් පිළිබඳව ජනාධිපතිවරයාට සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයාට දැනුම් දෙන බවයි.
-භාතිය බරුකන්ද-














