වන අලි ඇතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමත්, මිනිස් ජීවිත හා දේපළ සුරක්ෂිත කරමින් අලි–මිනිස් ගැටුම අවම කිරීමත් අරමුණු කරගත් ‘හස්ති සේනා’ ජාතික මෙහෙයුම තිරප්පනය ප්‍රදේශයේ අද (14) ක්‍රියාත්මක විය
ගල්කුලම, ගැටමාලාකන්ද, මුරියාකඩවල, පෙරියමියන්කුලම, කිරින්දේගම, නිරාවිය, තලගුලු විහාරය, නබඩවැව, වන්නන්කුලම, ඔරුක්කන්කුලම සහ කුට්ටිමඩුව ඇතුළු ප්‍රදේශ රැසක් ආවරණය කරමින් මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කෙරිණි. ඒ සඳහා ආරක්ෂක අංශ සහ වනජීවී නිලධාරීන්ගේ ඒකාබද්ධ දායකත්වය අතිශය වැදගත් වන බව පරිසර අමාත්‍ය ධම්මික පටබැදි මහතා පැවසුවේය.
පරිසර අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ, 212 වන පාබල බලසේනාව යටතේ පවතින 7 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ප්‍රධාන දායකත්වයෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක විය.
21 වන සේනාංකයේ සේනාංකාධීපති මේජර් ජෙනරල් කමින්ද සිල්වාගේ සහ 212 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුරංග බස්නායකගේ අධීක්ෂණය යටතේ, 7 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ප්‍රභාත් අබේවික්රමගේ මෙහෙයවීමෙන් සහ බලඝණාධිපති මේජර් දිමුතු මුල්ලේවිදානගේ සහභාගීත්වයෙන් මෙම මෙහෙයුම සංවිධානය කර තිබිණි.
මෙම විශේෂ මෙහෙයුම සඳහා යුද හමුදා නිලධාරීන් 07 දෙනෙකු සහ සෙසු නිලයන් 68 දෙනෙකු ඇතුළුව 75 දෙනෙකුගෙන් සමන්විත යුද හමුදා කණ්ඩායමක් එක්ව සිටියහ.
එමෙන්ම, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් සහකාර අධ්යක්ෂ චන්න සුරවීර මහතා ඇතුළු තිරප්පනේ බීට්ටු වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂකවරුන් 03 දෙනෙකු, අඩවි සහකාරවරුන් 06 දෙනෙකු, වනජීවී නියාමකවරුන් 08 දෙනෙකු සහ ජ්‍යෙෂ්ඨ සහායක නිලධාරීන් 02 දෙනෙකු මෙම විශේෂ මෙහෙයුම සඳහා සහභාගී වූහ.
පරිසර අමාත්‍යාංශයේ උපදේශක රවීන් කාරියවසම් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණු වන්නේ,
- වන අලි ඇතුන්ට මරණය හා තුවාල සිදුකරන නීතිවිරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම.
- ප්‍රදේශයේ පවතින නීතිවිරෝධී ගිනි අවි මෙන්ම දඩයම් කිරීම සඳහා යොදාගන්නා නීතිවිරෝධී උපකරණ, හක්කපටස් සහ අනවසර විදුලි වැටවල් ආදිය හඳුනාගෙන ඉවත් කිරීම.
- අලි ඇතුන්ගේ වාසස්ථාන ආරක්ෂා කිරීම.
- අලි–මිනිස් ගැටුම හේතුවෙන් සිදුවන ජීවිත හා දේපළ හානි අවම කිරීම.
ශ්‍රී ලංකා යුද හමුදාවේ මෙහෙයුම් ශක්තියත්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විෂය දැනුම හා අත්දැකීම්ත් ඒකාබද්ධ කරමින් ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙළ තුළින් වනජීවී සංරක්ෂණය සඳහා වඩාත් විධිමත් හා ප්‍රායෝගික ක්රියාකාරීත්වයක් ගොඩනැඟීම අපේක්ෂා කෙරේ.
අලි ඇතුන්ගේ ජීවිතත්, මිනිස් ජීවිතත් එකසේ සුරක්ෂිත කිරීමේ ජාතික වගකීම පෙරදැරි කරගනිමින්, පරිසර අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ‘හස්ති සේනා’ ජාතික මෙහෙයුම ඉදිරියේදීත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතය















