ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇත. එය බටහිර දෙසට ගමන් කර ඇති අතර, උතුරු අක්ෂාංශ 15.3 සහ නැගෙනහිර දේශාංශ 89.7 ආසන්නයේ කේන්ද්‍රගතව පැවතුනි. මෙම පද්ධතිය බොහෝ දුරට බටහිර දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, අද දින (ඔක්තෝබර් 26) බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේදී එය තවදුරටත් වර්ධනය වී සුළි කුණාටුවක් බවට පත්වීමට ඉඩ ඇත. ඉන්පසු එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කර, 2026 ඔක්තෝබර් 27 වන දින පමණ වන විට බෙංගාල බොක්කේ බටහිර-මධ්‍යම මුහුදු ප්‍රදේශයේදී ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇත.

එමනිසා උතුරු අක්ෂාංශ 10 ත් 20 ත් සහ නැගෙනහිර දේශාංශ 80 ත් 95 ත් අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වළකින ලෙසත් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු වල යෙදෙන ප්‍රජාවන් ආරක්‍ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙසත් උපදෙස් දෙනු ලැබේ.මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර සහ නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

වැසි තත්ත්වය: දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සුළඟ: සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (60-65) දක්වා ඉහළ යා හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා ඉහළ යා හැක.

මුහුදේ ස්වභාවය: ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.0 – 2.5) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං (පැ.කි.මී. 60-70) ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website