ආංශික අධීක්ෂණ කාරක සභාව කොළඹ වරායේ ඉඩම් බදුදීම ඇතුළු කරුණු පිළිබඳව පූර්ණ වාර්තාවක් ඉල්ලයි

2023 වසරේ සිදු වූ කොළඹ වරායේ තෙල් බංකරින් පහසුකම් සඳහා ඉඩම් බදුදීම සහ ඊට අදාළ කරුණු පිළිබඳව පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම්වරයාට සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයාට උපදෙස් ලබා දෙන ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ එම කාරක සභාවේදී මෙම උපදෙස් ලබා දීම සිදු විය.

කොළඹ වරායේ භාවිතයට නොගත් ඉඩම් බදු දීම, තෙල් බංකරින් (Bunkering) මෙහෙයුම් සඳහා ඉඩම් වෙන් කිරීම සහ ඒ ආශ්‍රිත නීතිමය සමථකරණ ක්‍රියාවලියේ විනිවිදභාවය හා වෙළඳපොළ තරඟකාරීත්වය පිළිබඳව මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.

තෙල් බංකරින් ක්ෂේත්‍රය ලිහිල් කිරීම (Liberalization) සඳහා 2022 ජූනි 27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව සහ 1971 අංක 51 දරන ශ්‍රී ලංකා වරාය අධිකාරිය පනතේ 7 වැනි වගන්තිය ප්‍රකාරව හිස් ඉඩම් බදු දීමට ටෙන්ඩර් කැඳවා තිබී ඇත. එම ටෙන්ඩර් පටිපාටිය යටතේ තෝරාගත් සමාගමකට පරන්තන් ප්‍රදේශයෙන් ලබා දුන් ඉඩම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ (CEA) අනුමැතිය ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් වරාය අභ්‍යන්තරයෙන් විකල්ප ඉඩමක් ඉල්ලා ඇති බව හෙළි විය. අදාළ සමාගමට නියමිත මාස හයක කාලය තුළ ප්‍රමාණාත්මක අවදානම් තක්සේරු වාර්තාව (QRA) ඉදිරිපත් කිරීමට නොහැකි වීම නිසා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් එකඟතාව අවලංගු කළ ද, සමාගම අධිකරණයට යෑමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ශ්වයන්ට සමථයකට එළඹීමේ හැකියාව සොයා බලන ලෙස දන්වා ඇත.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අතිරේක කළමනාකාර අධ්‍යක්ෂ (තාක්ෂණික), ප්‍රධාන නීති නිලධාරී සහ පරිශ්‍ර කළමනාකරුගෙන් සමන්විත නිලධාරී කමිටුවක් අදාළ සමාගම සමඟ සාකච්ඡා කර සමථයකට පැමිණ තිබේ. ඒ අනුව මුලින් ලබා දීමට සැලසුම් කළ අක්කර 4ක් පමණ වූ ඉඩම වෙනුවට තෙල් ගබඩාව (Oil Bank) ආසන්නයේ පිහිටි අක්කර 2ක් පමණ වූ ඉඩමක් ලබා දීමට එකඟතාව පළ කර, අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය සහ නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත ශ්‍රේෂ්ඨාධිකරණයට ඒකාබද්ධ සමථ යෝජනාවක් (Joint Settlement Motion) ඉදිරිපත් කර ඇත.

වරාය අභ්‍යන්තරයේ ජැටියට සහ තෙල් ගබඩාවට ආසන්නයෙන් පුද්ගලික සමාගමකට ඉඩම් ලබා දීම තුළින් වෙළඳපොළ ඒකාධිකාරයක් (Monopoly) හෝ අසාධාරණ තරඟකාරීත්වයක් ඇතිවේදැයි කාරක සභාව විසින් ප්‍රශ්න කරන ලදී. දැනට බංකරින් තෙල් ගබඩා කිරීමේ ඒකාධිකාරය පවතින්නේ ජයබහලු පර්යන්තය (JCT) සතුව පමණක් බැවින්, නව ආයෝජකයෙකු පැමිණීම මගින් එම ඒකාධිකාරය බිඳවැටී විවෘත තරඟකාරීත්වයක් ගොඩනැගෙන බව වරාය අධිකාරියේ නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ.

මෙම සමථ ගිවිසුම අත්සන් කිරීමට පෙර ඒ පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත දැනුම් දී ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිශ්චිත ඉඩමක් ලබාදෙන ලෙස නියෝග කර නොමැති අතර, සමථයක් ලෙස මෙම ඉඩම යෝජනා කර ඇත්තේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් බැවින් එම යෝජනාව නිසි ලෙස සාධාරණීකරණය (Justify) කළ යුතු බව කාරක සභා සභාපතිවරයා අවධාරණය කළේය. ඒ අනුව “තීරණය නිවැරදි විය යුතු සේම එම නිවැරදි බව විනිවිදභාවයෙන් යුතුව පෙනෙන්නට තිබිය යුතුය” යන මූලධර්මය මත පිහිටා, මෙමගින් වෙළඳ ඒකාධිකාරයක් බිහි වන්නේ ද නැතහොත් බිඳෙන්නේ ද යන්නත්, දීර්ඝකාලීන මූල්‍ය අවාසියක් සිදුවන්නේ ද නැද්ද යන්නත් ඇතුළත් පූර්ණ වාර්තාවක් සතියක් ඇතුළත ජනාධිපති ලේකම් කාර්යාලයට යැවීමට පෙර කාරක සභාව වෙත ලබා දෙන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයාට කාරක සභා සභාපතිවරයා විසින් දැනුම් දෙන ලදී.

කොළඹ වරායේ මෙහෙයුම් ප්‍රගතිය සහ වර්ධනය පිළිබඳව ද මෙහිදී කාරක සභාව විසින් විමසන ලදී. රතු මුහුද, සූවස් ඇළ සහ හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත සැපයුම් දාමයට ඇති වන බාධා හමුවේ වුවද, කොළඹ වරායේ පර්යන්ත පහ ඒකාබද්ධව වසරේ මුල් මාස අට තුළ 11% ක පමණ වර්ධනයක් අත්කර ගනිමින් මෙහෙයුම් ඵලදායිතාව සහ ආදායම ඉහළ නංවා ගැනීමට සමත්ව ඇති බව වරාය අධිකාරියේ නිලධාරීහු පැවසූහ.

කාරක සභා සාමාජික මන්ත්‍රීවරු පිරිසක් මෙන්ම වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීහු පිරිසක් මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website