මත්ද්රව්ය සම්බන්ධ වැරදිවලදී ඇප ලබා ගැනීමට අදාළ නීතිමය විධිවිධාන සංශෝධනය කිරීම රාජ්ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පසුගියදා සලකා බලා, නීතිපතිවරයාගේ අනුමැතියට යටත්ව අනුමත කර ඇත.
ඒ අනුව, ග්රෑම් 100 දක්වා බරක් සහිත මත්ද්රව්ය සම්බන්ධයෙන් ඇප ඉල්ලීම් අදාළ මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමටත්, එම සීමාව ඉක්මවන අවස්ථාවලදී අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කිරීමටත් යෝජනා කර ඇති සංශෝධන පිළිබඳව කාරක සභාව හමුවේ නිලධාරීහු කරුණු පැහැදිලි කළහ.
මීට පෙර පැවති ග්රෑම් 10ක සීමාව සංශෝධනය කිරීමේ අරමුණ වන්නේ රස පරීක්ෂක වාර්තා ප්රමාද වීම ඇතුළු හේතු මත සැකකරුවන් දිගු කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීම අවම කිරීම සහ බන්ධනාගාර තදබදය අඩු කිරීමට දායක වීම බව ද මෙහිදී පැහැදිලි කෙරිණි. තවද, මත්ද්රව්ය ජාවාරමට අදාළ වැරදි සම්බන්ධයෙන් ආඥාපනතේ 54(1) වගන්තියට අදාළ විධිවිධාන සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ද කරුණු ඉදිරිපත් විය.
මෙම පනත් කෙටුම්පත් දෙකට අදාළව ශ්රේෂ්ඨාධිකරණයේ තීරණය අනුව ඉදිරිපත් වූ සංශෝධන සහ අතිරේක සංශෝධන ද කාරක සභා අවස්ථාවේදී සලකා බැලීමෙන් අනතුරුව, පනත් කෙටුම්පත් දෙක නීතිපතිවරයාගේ අනුමැතියට යටත්ව අනුමත කරන ලදී.












