ගල්ගමුව, සියඹලන්ගමුවේ ‘කාවන්තිස්ස’ හස්තියාගේ වියෝව තවත් එක් සංවේදී පුවතක් ලෙස අමතක කර දැමීමට ඉඩ නොතබා, එය මෙරට වනජීවී කළමනාකරණ යාන්ත්රණයේ පද්ධතිමය ප්රතිසංස්කරණයක් සඳහා වන ආරම්භක ලක්ෂ්යය බවට පත් කරගැනීමට වත්මන් රජය පියවර ගෙන තිබෙන බව පරිසර අමාත්ය දම්මික පටබැඳි මහතා පැවසුවේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සෘජු මැදිහත්වීමෙන් ක්රියාත්මක වන මෙම වැඩපිළිවෙළ, සම්ප්රදායික නිලධාරීවාදී ප්රවේශයෙන් ඔබ්බට ගොස් ආනුභවික සාක්ෂි හා විද්යාත්මක ක්රමවේද මත පදනම් වූ සංරක්ෂණ ආකෘතියක් කරා රට යොමු කරවන්නක් බව ද අමාත්යවරයා පැවසුවේය.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් පළ කරමින් අමාත්යවරයා මෙසේ ද පැවසුවේය, “ජනාධිපතිතුමාගේ මැදිහත්වීම මත පත් කරන ලද විශේෂඥ කමිටුව අද රැස්වූයේ එබැවිනි. සම්බන්ධීකාරක, ජනාධිපති අතිරේක ලේකම් ඩබ්ලිව්. ඩබ්ලිව්. හැරිසන්, විශේෂඥ කමිටුවේ සභාපති, හිටපු අමාත්යාංශ ලේකම් ඒ. එච්. සරත් විජේසිංහ, කමිටුවේ සෙසු සාමාජිකයන් වන මහාචාර්ය ටී. සමින්ද ප්රනාන්දු, මහාචාර්ය පී. ජී. අනිල් පුෂ්පකුමාර, මහාචාර්ය යූ. කේ. කාලිංග පද්මලාල්, ආචාර්ය ජගත් ගුණවර්ධන සහ නීතිඥ චරක ජයරත්න යන මහත්වරු මෙම කමිටුවේ රාජකාරී කරනු ඇති. ඒ අනුව,
ක්ෂණික ක්ෂේත්ර ප්රතිචාර පද්ධතියක් (Rapid Response Veterinary Unit): අනතුරකදී හෝ ආපදාවකදී තීරණාත්මක ‘පළමු හෝරා කිහිපය’ (Golden Hours) තුළ වන සතුන් වෙත විශේෂඥ පශු වෛද්ය රැකවරණය සැපයිය හැකි, පූර්ණ පහසුකම් සහිත හදිසි ප්රතිචාර බලකායක් ස්ථාපිත කිරීම.
සම්මත මෙහෙයුම් පටිපාටියක් (SOP): තීරණ ගැනීමේ ප්රමාදයන් සහ පරිපාලනමය රික්තයන් අවම කරමින්, ජාත්යන්තර ප්රමිතීන්ට අනුගත වූ පැහැදිලි හා විද්යාත්මක ප්රතිකාර හා මුදාගැනීමේ ක්රමවේදයක් නීතිගත කිරීම.
බහුවිධ විද්වත් ප්රවේශය: පාරිසරික විද්යාව, පශු වෛද්ය ක්ෂේත්රය සහ පාරිසරික නීතිය ආදී අංශ නියෝජනය කරන දෙස්-විදෙස් විද්වතුන්ගේ එකමුතුවෙන් ජාතික ඇතුන් සුරැකීමේ සැලැස්මක් සම්පාදනය කිරීම.
මෙහි අපේක්ෂාව වන්නේ මරණ පශ්චාත් විමර්ශනවලට පමණක් සීමා නොවී, වන සතුන්ගේ ජීවත්වීමේ අවකාශය සහ අයිතිය සුරක්ෂිත කෙරෙන පෙරහුරුමය (proactive) සංරක්ෂණ සංස්කෘතියක් රාජ්ය ප්රතිපත්තිය තුළ මුල්බැස්වීමයි.
ස්වභාවධර්මයේ සමතුලිතතාව ආරක්ෂා කරමින්, වන අලි සම්පත මතු පරපුර උදෙසා රැකදීම සැබෑ ක්රියාවෙන්ම ඔප්පු කර පෙන්වන පාලන තන්ත්රයක වගකීම එයයි” අමාත්යවරයා වැඩි දුරටත් පැවසුවේය.













