අපනයන කෘෂිකර්ම දෙපාර්තමේතුව මඟින් සංවිධානය කරන Sri lankan Spice Expo – 2026 කුළුබඩු ප්‍රදර්ශනය හා වැඩමුළුව හෙට (16) දින පෙ.ව. 09.00 සිට ප.ව. 04.00 දක්වා මහනුවර සහස් උයනේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩි. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වේ.
ශ්‍රී ලාංකේය කුළුබඩු නාමය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට අවශ්‍ය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම මෙම ප්‍රදර්ශනයේ අරමුණයි.
Sri lankan Spice Expo – 2026 ප්‍රදර්ශනය තුළින් කුළුබඩු කර්මාන්තයේ නියැලෙන ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීම, කුළුබඩු නිෂ්පාදනය හා අලෙවිකරණය ආශ්‍රිත ගැටළු නිරාකරණය සඳහා මග පෙන්වීම, සාර්ථක ව්‍යවසායකයින්ගේ ව්‍යාපාරික අත්දැකීම් බෙදාහදා ගැනීම හා නව තාක්ෂණික දැනුම ලබා ගැනීමේ අවස්ථා උදාවේ. මිට අමතරව ජාත්‍යන්තර වෙළෙඳපොළට ගැලපෙන ලෙස කුළුබඩු නිෂ්පාදනවල ප්‍රමිතිය හා ගුණාත්මක තත්ත්ව වැඩිදියුණු කිරීම පිලිබඳ දැනුම මෙන්ම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දෙනු ලබන කුළුබඩු ආශ්‍රිත නව නිෂ්පාදන සකස් කරන ආකාරය සජීවීව නැරඹීමේ, රස බැලීමේ හා මිලදී ගැනීමේ පහසුකම් ද සලසා තිබේ.
මෙම Sri lankan Spice Expo – 2026 ප්‍රදර්ශනය හා වැඩමුළුව මෙවර මධ්‍යම පළාත කේන්ද්‍ර කර ගනිමින් ප්‍රථමවරට පැවැත්වෙන අතර එය ඉදිරියේ දී දිවයිනේ සියළු පළාත් ආවරණය වන පරිදි පැවැත්වීමට නියමිතය. කුළුබඩු කර්මාන්තය කෙරෙහි උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට ප්‍රදර්ශනය නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
සටහන – මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරි, දිශාන්ති නිරෝෂා කොඩිතුවක්කු, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව














