විදේශ රැකියා සඳහා විගමනය වන ශ්‍රමිකයන්ගේ පවුල්වල සුබසාධනය සහ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත “ඉන්සා” (InSA – Integrated Systematic Approach for the Family Development of Migrant Workers) ව්‍යාපෘතිය ඔක්තෝබර් 01 වැනිදා සිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
විදේශ රැකියා සඳහා යන ශ්‍රමිකයන්ගේ පවුල්වල දිගුකාලීන මූල්‍ය කළමනාකරණය, ළමා සෞඛ්‍ය හා ආරක්ෂාව, රැකියා පුහුණුව සහ කුඩා ව්‍යාපාර හා අපනයන සංවර්ධනය යන ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් පවුල් සංවර්ධන සැලසුම් සකස් කිරීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ වේ.
ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් “ඉන්සා කමිටු” (InSA) පිහිටුවීමට නියමිත අතර, සහකාර ප්‍රාදේශීය ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන්, මුල් ළමා සංවර්ධන නිලධාරීන් සහ අනෙකුත් අදාළ ක්ෂේත්‍ර නිලධාරීන් එක්ව කටයුතු කිරීමට නියමිතය.
පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ සභාපතිත්වයෙන් පැවති කාරක සභා රැස්වීමේදී මෙම කරුණු අනාවරණය විය.












