පොදු රාජ්‍ය මණ්ඩලයීය නීතිඥ සංගමයේ සභාපති
”අපි නඩු විභාගයේ දී සිදු වූ දේවල් නිරීක්ෂණය කළා. මූලික නිරීක්ෂණ කිහිපයක් ඇතුළත් වාර්තාවක් පිළියෙළ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. විනිසුරුවරුන් ඉතාම ඉවසීමකින් යුතුව කටයුතු කරමින් අද දවස පාලනය කළා. අද දිනයට අදාළ කරුණු ඉදිරිපත් කිරීමට නීතිඥවරුන්ට ප්‍රමාණවත් කාලයක් ලබා දුන්නා.
කෙසේ වෙතත්, මම හිතන්නේ මීට සුළු මොහොතකට පෙර අවසානය සිදු වූ ආකාරය ඉතාම අවාසනාවන්තයි. පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයාට පිළිතුරු ලබාදීමට අවශ්‍ය වූ විට ඔහුට වාචිකව පිළිතුරු ලබා දීමට අවස්ථාව ලබා දුන්නේ නැහැ, ලිඛිතව කරුණු ඉදිරිපත් කරන ලෙස පමණයි දැනුම් දුන්නේ. එය බොහෝ අධිකරණ බල ප්‍රදේශයන්හි සාමාන්‍යයෙන් සිදුවන දෙයක් නොවෙයි. මෙවැනි වැදගත් නඩු වලදී පිළිතුරු දීමේ අයිතිය, ඒ කියන්නේ වාචිකව පිළිතුරු දීමේ අයිතිය සෑම විටම ලබා දෙනවා. ඒ නිසා එය සාමාන්‍යයෙන් සිදු නොවන සහ අවාසනාවන්ත සිදුවීමක් ලෙස මම දකිනවා.
ඔවුන්ට වාචිකව පිළිතුරු ලබාදීමේ අයිතිය ලබා දිය යුතුව තිබුණා. මම මෙහි සිටින නීතිඥවරුන් බොහෝ දෙනෙකු සමඟ කතා කළා. එහි දී ප්‍රකාශ වූ කණස්සල්ලට හේතු වූ කරුණු කිහිපයක් තිබෙනවා. එක් කරුණක් නම් මෙතැන පූර්ණ විනිසුරු මඬුල්ලක් නොසිටියේ ඇයි ද ? යන්නයි. මන්ද මෙය අධිකරණයේ ස්වාධීනත්වයට අදාළ ඉතාම වැදගත් නඩුවක්. සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාව වල විශාල විනිසුරු මඬුල්ලක් විසින් නඩුව විභාග කරන්නේ. නමුත් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප වූ බව මට දැන ගන්න ලැබුණා. ඉතිං පූර්ණ විනිසුරු මඬුල්ලක් පත් නොකළේ ඇයි ? ද යන්න ගැන කණස්සල්ලක් තිබෙනවා.
මා සාමාජිකයින්ගෙන් ඇසූ අනෙක් කණස්සල්ල නම් අධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරුන් මෙම නඩු විභාගයට අසුන් නොගත්තේ ඇයි ද ? යන්නයි. අග්රවිනිශ්චයකාරවරයා අසුන් ගත්ත ද අනෙකුත් ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරුන් අසුන් ගත්තේ නැහැ.
වෙනත් අධිකරණ පද්ධතිවල මෙවැනි වැදගත් නඩුවක් තිබෙන විට අධිකරණයේ ඉහළම විනිසුරුවරුන් සාමාන්‍යයෙන් අසුන් ගන්නා බව අපි දන්නවා. එය එසේ නොවුවේ ඇයි ද ? යන්න ගැනත් අදහස් පළ වුණා.
එහෙත් වර්තමානයේ සිදුවන යම් යම් කරුණු නිසා අග්රවිනිශ්චයකාරවරයා පිළිබඳව සමාජයේ යම් කතාබහක් පවතින බැවින් ඔහු මේ නඩුවේ මුලසුන හෙබවිය යුතුව තිබුණා ද, නැද්ද යන්න ගැන සාමාජිකයින් අතර කණස්සල්ලක් තිබුණා.
සමහර විට සාධාරණත්වය සහ විනිවිධභාවය සම්බන්ධ සැකයක් ඇති නොවීමට නම් ඔහු මෙම නඩුවෙන් ඉවත් වී වෙනත් අයෙකුට එය කිරීමට ඉඩ දිය යුතුව තිබුණා. එවිට නඩුවේ සම්පූර්ණ සාධාරණත්වයක් ඇති බවට හැඟීමක් ඇති වෙනවා.
මට අසන්නට ලැබුණ කණස්සල්ලට කරුණු කිහිපයක් තමයි ඒ. නමුත් මට මේ දේ කියන්නට ඕනෑ. මෙම නඩුවේ කරුණු ගැන අදහස් දක්වන්නේ නැහැ. දෙපාර්ශ්වයම ඒ ගැන තර්ක කරනවා. ඒක අපට අදාළ දෙයක් නෙමෙයි. නමුත් අධිකරණයේ ස්වාධීනත්වය කියන්නේ ඉතාම වැදගත් මෙන්ම, ඉතාම අනර්ඝ ප්‍රතිපත්තියක්. එම නිසා එය ඕනෑම පිරිවැයක් දරා ආරක්ෂා කළ යුතුයි.
දෙපාර්ශ්වයම එහි තිබෙන වැදගත්කම ගැන කතා කළා. ‘මෙය වැදගත් වන්නේ ඇයි ද ?’ යන්න නීතිමය තර්ක සියල්ලම පැත්තක තැබුවත්, අධිකරණයේ ස්වාධීනත්වය හානිකර වන ආකාරයේ කිසියම් පියවරකට හෝ ඉඩ තිබේ ද යන්න ගැන යම් හෝ සැකයක් තිබේ නම් එය සැකය දුරු කළ යුතුයි. එම සැකය පවතිනවා නම් නීතිමය ප්‍රතිපත්ති ගැන කතා කිරීමෙන් වැඩක් නැහැ.
වෘත්තිකයින් ලෙස අපගේ වගකීම වන්නේ අධිකරණයේ ස්වාධීනත්වය සෑම විටම ආරක්ෂා වන පරිදි සැකය දුරු කිරීමයි. එහි දී නීතියෙන් යම් දෙයක් කිරීමට නියම කර නොතිබුණ ද අධිකරණයේ ස්වාධීනත්වය සෑම විටම සුරැකෙන බවට වගබලා ගැනීම සඳහා ඔබට පියවර ගැනීමට සිදුවිය හැකියි.
එය වැදගත් වන්නේ මන්දැයි මම ඔබට කියන්නම්. පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල අනෙකුත් අධිකරණය පද්ධතීන් පිළිබඳ අපගේ අත්දැකීම් අනුව මම ඔබට පවසන ඉතාම වැදගත් දේ මෙය විය හැකියි.
බොහෝ පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල ඉතා බලවත් අධිකරණ පද්ධතීන් තිබෙනවා. නමුත් යම් ආකාරයකින් ඔවුන්ගේ ස්වාධීනත්වයට හානි සිදු වී එය පිරිහී ගියහොත් එහි ප්රතිවිපාකවලින් ගොඩ ඒමට ඔවුන්ට දිර්ඝ කාලයක් ගත වෙනවා. ‘එය ඉතා අනර්ඝයි’ කියා මම කීවේ ඒ නිසයි. ඕනෑම පිරිවැයක් දරා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම ඉතාම වැදගත් වන්නේ ඒ නිසයි. මන්ද, දවස අවසානයේ අධිකරණය යනු අප ‘අවසාන බළකොටුව’ ලෙස හඳුන්වන දෙයයි.
රජයේ බලයට එරෙහිව පුරවැසියා ආරක්ෂා කරන්නේ අධිකරණයයි. පුරවැසියාට ස්වාධීන අධිකරණයක් හැර පිහිට පතා යාමට වෙනත් ස්ථානයක් නැහැ. යම් ආකාරයකින් අධිකරණයේ ස්වාධීනත්වයට හානි සිදු වුවහොත් පුරවැසියාට එම ආරක්ෂාව අහිමි වී යනවා. එබැවින් නීතිඥ සංගමය, ජාත්‍යන්තර නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්වකරුවන් අධිකරණයේ ස්වාධීනත්වයට හානියක් නොවීමට, එය ආරක්ෂා කර ගැනීමට උපරිමයෙන් කටයුතු කළ යුතුයි.
අධිකරණයේ ස්වාධීනත්වයට හානි සිදු වූ සහ එයින් ගොඩ ඒමට වසර ගණනාවක් ගත වූ ඇතැම් රටවල, තවමත් ගොඩ ඒමට නොහැකි වූ රටවල් ගැන මට උදාහරණ දිය හැකියි. එම රටවල අධිකරණය කෙරෙහි මහජන විශ්වාසයක් නැහැ, ඒක ඉතාම නරක තත්ත්වයක් මෙන්ම කිසිම රටකට හොඳ තත්ත්වයක් නොවෙයි. එම නිසා මෙම තත්ත්වය සමනය වූ පසු ඇසිය යුතු එකම ප්රශ්නය වන්නේ, ‘මේ සිදු වූ දේ අධිකරණය කෙරෙහි ඇති මහජන විශ්වාසය වර්ධනය කළා ද, නැතහොත් මහජන විශ්වාසය පිරිහුණා ද ? යන්නයි. මෙමගින් මහජන විශ්වාසය පිරිහීමට ලක්වන බවට නිගමනය කළහොත්, එම මහජන විශ්වාසය නැති නොවී සෑම විටම ඉහළ මට්ටමක පවතින බවටත්, අධිකරණය කෙරෙහි මහජනතාව විශ්වාසයක් පවතින බවටත් වගබලා ගැනීමට අපි පියවර ගත යුතුයි.
හිරු ප්රවෘත්ති ඇසුරිණි.












