දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ වැව් 290 ක් ඇතුළුව රුපියල් මිලියන 5,800 කට අධික ආයෝජනයක්
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු සඳහා අත්‍යවශ්‍ය සුළු වාරි පද්ධති ශක්තිමත් කිරීමේ අරමුණින්, ලෝක බැංකු මූල්‍ය සහයෝගය යටතේ සුළු වාරි වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ දැවැන්ත වැඩසටහනක් මේ වන විට ආරම්භ කර ඇති අතර එය වර්ෂ 2029 දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ යටතේ මේ වන විට සුළු වාරි වැව් 296 ක් ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කර ඇත.
ඒකාබද්ධ ග්‍රාම-නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තුදීමේ ව්‍යාපෘතිය (Integrated Rurban Development and Climate Resilience Project) යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහන සඳහා මේ වන විට රුපියල් මිලියන 5,800 කට අධික මුදලක් වෙන් කර ඇති අතර, එමගින් රටේ විවිධ ප්‍රදේශවල ගොවි ජනතාවගේ වාරි ජල අවශ්‍යතා සපුරාලීම සඳහා වැදගත් වන සුළු වාරි යටිතල පහසුකම් යළි ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ.
ඒ අනුව, මෙම IRDCRP ව්‍යාපෘතිය යටතේ වැව් ප්‍රතිසංස්කරණ කටයුතු වලට අදාලව සාමාන්‍ය පරිදි පොළොන්නරුව, හම්බන්තොට සහ යාපනය යන දිස්ත්‍රික්ක තුනෙහි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින සුළු වාරි වැව් 06 ක් ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කර තිබේ. ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් 256,168,900.88 කි.
තව ද, මෙම IRDCRP ව්‍යාපෘතියේ විශේෂ වැදගත්කමක් ගන්නේ එම ව්‍යාපෘතියේ 5 වන සංරචකය ලෙස ක්‍රියාත්මක වන හදිසි අවස්ථා ප්‍රතිචාර සංරචකය (CERC) යටතේ සිදු කෙරෙන හදිසි ආපදා ප්‍රතිසංස්කරණ වැඩසටහනයි.
ඒ අනුව, දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත්වූ ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 18 ක, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින සුළු වාරි වැව් 290 ක් උක්ත හදිසි අවස්ථා ප්‍රතිචාර සංරචකය (CERC) යටතේ ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘති මේ වන විට ආරම්භ කර ඇත. මෙම ව්‍යාපෘති සඳහා වෙන් කර ඇති මුළු මුදල රුපියල් 5,578,334,825.34 කි.
බදුල්ල දිස්ත්‍රික්කයේ වැව් 97 ක්, රත්නපුරයේ වැව් 29 ක්, මන්නාරමේ වැව් 24 ක්, කුරුණෑගලයේ වැව් 19 ක්, මහනුවර හා වවුනියාව දිස්ත්‍රික්කවල වැව් 15 බැගින් ඇතුළුව දිස්ත්‍රික්ක 18 පුරා මෙම ප්‍රතිසංස්කරණ කටයුතු ක්‍රියාත්මක වේ. මෙහිදී වැඩි වශයෙන් හානි වූ වාරි පද්ධති යථා තත්ත්වයට පත් කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇත.
සුළු වාරි වැව් ප්‍රතිසංස්කරණය කිරීම මගින් වැව්වල ජල රඳවා ගැනීමේ හැකියාව සහ වාරි ජලය බෙදාහැරීමේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට හැකි වන අතර, එය ගොවි ජනතාවට නියමිත කාලයේ දී වගා කටයුතු සිදු කිරීමට වඩාත් විශ්වාසදායක ජල සැපයුමක් ලබා දීමට දායක වේ.
විශේෂයෙන් අධික වර්ෂාපතනය, ගංවතුර, නියඟය සහ අනෙකුත් දේශගුණික අවදානම් හමුවේ කෘෂිකාර්මික කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය වාරි පද්ධතිවල ඔරොත්තු දීමේ හැකියාව වැඩි කිරීම මෙම වැඩසටහනේ තවත් ප්‍රධාන අරමුණකි.
මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ තාක්ෂණික හා පරිපාලන දායකත්වය මෙන්ම, ගොවි සංවිධානවල සක්‍රීය සහයෝගය ද ලබා ගැනේ. දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය, දිස්ත්‍රික් කාර්යාල සහ ප්‍රාදේශීය ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා මෙම කටයුතු සම්බන්ධීකරණය කෙරෙන අතර, ප්‍රාදේශීය මට්ටමේ සිට ව්‍යාපෘති අධීක්ෂණය සහ ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලබයි.
ගොවිජන සංවර්ධන නියෝජ්‍ය හා සහකාර කොමසාරිස්වරුන්, ප්‍රාදේශීය ඉංජිනේරුවන්, දිස්ත්‍රික් තාක්ෂණ නිලධාරීන්, ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරීන්, තාක්ෂණික නිලධාරීන් හා සහයකයින් මෙන්ම අදාළ ප්‍රදේශ භාර කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන්ගේ දායකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
සුළු වාරි වැව් යනු ශ්‍රී ලංකාවේ ග්‍රාමීය කෘෂිකර්මාන්තයේ ජල සුරක්ෂිතතාවයට මෙන්ම ගොවි ජනතාවගේ ජීවනෝපායට සෘජුවම සම්බන්ධ සම්පතකි. එබැවින් මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහන හරහා හානි වූ වාරි පද්ධති යළි ගොඩනැංවීම පමණක් නොව, දේශගුණික විපර්යාස හමුවේ වඩාත් ශක්තිමත් හා තිරසාර කෘෂිකාර්මික පරිසරයක් ගොඩනැගීමට ද පදනම සැකසෙනු ඇත.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, ලෝක බැංකු මූල්‍යධාර භාවිතයෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහන් මගින් ගොවි ජනතාවගේ වාරි ජල අවශ්‍යතා සපුරාලීම, කෘෂිකාර්මික නිෂ්පාදනය ශක්තිමත් කිරීම සහ ආපදා හා දේශගුණික අවදානම් හමුවේ ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය වඩාත් සුරක්ෂිත කිරීම සඳහා දිගුකාලීන ප්‍රතිලාභ රැසක් සැලසෙනු ඇති බවයි.














