කබරගල නිවාස ව්‍යාපෘතිය: පූනාගල කබරගල මලෛයගම් ජනතාවගේ ජීවිතවලට නව අරුණළු උදා වෙයි

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම්වලට සහයා වෙමින්

එළඹෙන 28 වන දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සහ නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන්, අලුතින් නිර්මාණය කරන ලද කබරගල නිවාස ව්‍යාපෘතියේ ඉඩම් හිමිකම් ඔප්පු සහ නව නිවාස වල යතුරු පවුල් 50 ක් වෙත නිල වශයෙන් පිරිනැමීමට නියමිතය. මීට අමතරව තවත් ඉඩම් හිමිකම් ඔප්පු 163ක්ද පිරිනැමීමට නියමිතව ඇත.

මෙය හුදෙක් නිවාස භාරදීමේ උත්සවයක් පමණක් නොව, වසර දෙසියයක් පුරා ඉඩම් හිමිකමකින් තොරව ලයිම් කාමරවල ජීවත් වීමට බල කිරීම් වලට ලක් වු කඳුකර වතුකර ජනතාවට ඉඩම් හිමිකම, ගෞරවය සහ සාමාජික සුරක්ෂිතභාවය තහවුරු කෙරෙන ඓතිහාසික හැරවුම් ලක්ෂ්‍යයකි.

2023 මාර්තු මස 19 වන දින රාත්‍රියේ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන්, බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පූනාගල, කබරගල වතුයායේ විශාල නායයාමක් සිදු විය. කඩාවැටුණු පර්වත, පස් සහ මඩවලට ලයිම් කාමර රාශියක් සම්පූර්ණයෙන්ම විනාශ වී ගියේය.

ජීවිත හානි වළක්වා ගැනීමට හැකි වුවද, පවුල් 50 කට අයිති ඇඳුම් පැළඳුම්, දරුවන්ගේ පාසල් පොත්පත් සහ උපයාගත් සියලු දේපළ අහිමි විය. ව්‍යසනයෙන් පසුව, ඔවුන්ගේ තාවකාලික නවාතැනක් ලෙස අම්බිට්ටිකන්ද වසා දමා තිබූ තේ කර්මාන්තශාලා ගොඩනැගිල්ලේ පදිංචි කරවන ලදී. පසුගිය වසර දෙක පුරා, නිසි මූලික පහසුකම් නොමැති එම තාවකාලික කඳවුරේ, ලෑලි සහ රෙදිවලින් තමන්ගේ සීමා වෙන් කරගනිමින්, අධික සීතල සහ නොයෙකුත් අපහසුතාවලට මුහුණ දෙමින් එම ජනතාව ජීවත් වූහ.

ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයේ කොඳුනාරටිය බඳු කඳුකර ජනතාව, රටට විදේශ විනිමය උපයා දීමේදී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරති. එසේ වුවද, බ්‍රිතාන්‍ය colonial පාලන සමයේ හඳුන්වා දුන් අඩි 10×10 ප්‍රමාණයේ ලයිම් කාමරවල පරම්පරා ගණනාවක් තිස්සේ ජීවත් වීමට ඔවුන්ට සිදුවිය.

පසුගිය කාලවලදී ව්‍යවසනයෙන්සිදුවූ විට තාවකාලික සහන පමණක් ලබාදුන් පසුබිමක, වත්මන් රජය බලයට පත්වූ වහාම මලෛයගම් ජනතාවගේමූලික මානව අයිතිවාසිකමක් වන “ඉඩම් හිමිකම” සහ “සුරක්ෂිත පදිංචිය” මූලික ඉලක්කය කරගනිමින් කටයුතු කරයි. ඒ අනුව, තාවකාලික කඳවුරේ රැඳී සිටි කබරගල ජනතාව වහාම නැවත පදිංචි කිරීම රජයේ ප්‍රමුඛතම ව්‍යාපෘතිය බවට පත් කරන ලදී.

“නිවසක් යනු හුදෙක් බිත්ති සහ වහලක් පමණක් නොවේ. එය මිනිසෙකුගේ ගෞරවය, සුරක්ෂිතභාවය සහ පෞරෂයේ සංකේතයයි. වසර දෙසියයක් පුරා රටේ ආර්ථිකය නැංවූ ජනතාවට හිමිකාර ඉඩමක් සහ සුරක්ෂිත ජීවිතයක් ලබාදීම අප අමාත්‍යාංශයේ ප්‍රධාන අරමුණයි.”

විනාශයට පත් නිවාසවල දසුනක්

අමාත්‍යතුමා ප්‍රමුඛ කණ්ඩායම පීඩාවට පත් මෙම ජනතාවට නිවසක් ඉදිකර දීම සම්බන්ධයෙන් වූ මුලික සාකච්ඡාව 2025 පෙබරවාරි මස 10 වන දින වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේදී පවත්වන ලදී.

එම මූලික සාකච්ඡාව පවත්වා හරියටම මාසයක් ඇතුළත මෙම නිවාස ව්‍යාපෘතියේ ඉදි කිරීම් කටයුතු ආරම්භ කරමින්, 2025 මාර්තු මස 15 වන දින අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සහ නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් යන අමාත්‍යවරුන් විසින් මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා මුල්ගල තබන ලදී. එතැන් සිට අඛණ්ඩව වසරකුත් මාස හතරක් වැනි කාලයක් ඇතුළත ඉදිකිරීම් කටයුතු අවසන් කර, වසා දමා තිබූ තේ කර්මාන්තශාලාවේ පීඩා විඳි ජනතාව වෙත භාරදීමට හැකිවීම සමස්ත කඳුකර ජනතාවම ලැබූ ජයග්‍රහණයකි. මෙය මෙතරම් ඉක්මනින් සිදු කිරීමට අමාත්‍යතුමාගේ සෘජු මැදිහත්වීම විශේෂ බලපෑමක් ඇති කළේය.

2025 ජූනි 28 වන දින වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් නිවාස ගම්මානයේ ඉදිකිරීම් කටයුතු වේගවත් කිරීමේ අරමුණින් විශාල ශ්‍රමදාන ව්‍යාපාරයක් සංවිධානය කරන ලදී. මේ සඳහා නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් අමාත්‍යතුමාගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අම්බිකා සාමුවෙල්, කිට්නන් සෙල්වරාජ්, රවීන්ද්‍ර බණ්ඩාර යන මහත්ම මහත්මීන් සහ අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

ඉතා අලංකාර භූමි භාගයක ඉදිකර ඇති මෙම නිවාසවල ඉඩමේ වටිනාකමද සමඟ බලන කල, මෙහි මුළු වටිනාකම රුපියල් ලක්ෂ 60 ක් පමණ වන බවට තක්සේරු කර ඇත. මෙම නිවාස 50 ඉදිකිරීම සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 160 ක් වැය කර ඇත.

මෙම ජනතාවට ලබාදෙන ඉඩම සහ නිවසට අමතරව, ඉතිහාසයේ ප්‍රථම වතාවට එම නිවසට අවශ්‍ය ගෘහ භාණ්ඩ සහ මුළුතැන්ගෙයට අවශ්‍ය උපකරණ පවා ලබාදීමට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමා සහ නියෝජ්‍ය අමාත්‍යතුමා ඇතුළු කණ්ඩායම පියවර ගෙන තිබීම ඉතා විශේෂිත කරුණකි.

කබරගල නිවාස ව්‍යාපෘතිය යනු රාජ්‍ය ආයතන, ආරක්ෂක අංශ, සිවිල් සංවිධාන සහ තාක්ෂණික ආයතනයන්ගේ ඒකාබද්ධ සාමූහික ප්‍රයත්නයකට හොඳම උදාහරණයකි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු සේවා බලකායේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් මෙම නිවාස ඉදිකර ඇති අතර, වර්ග අඩි 500 ක භූමි ප්‍රමාණයකින් යුත් නව නිවස නිදන කාමර දෙකක්, මුළුතැන්ගෙය, සාලය සහ වැසිකිළියකින් සමන්විතව සම්පූර්ණයෙන්ම ඉදිකර තිබීම මෙහි විශේෂත්වයයි. අනාගතයේදී නායයාම් අවදානම් ඇතිවීම වැළැක්වීම තහවුරු කිරීම සඳහා, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) භූ විද්‍යාත්මක ඉංජිනේරුවන්ගේ විධිමත් පරීක්ෂණ සහ තාක්ෂණික සහතික ලබාගැනීමෙන් අනතුරුව ඉඩම් තේරීම සිදු කරන ලදී.

  • සෑම පවුලකටම පර්චස් 10 බැගින් වූ ඉඩම් කොටස් තනි පුද්ගල නෛතික හිමිකම් ඔප්පු සහිතව ලබාදීමට නියමිතය.
  • වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මගින් ප්‍රතිපාදන වෙන්කර, නවීන ක්‍රමයට නිවාස සැලසුම් කරන ලදී.
  • ඉදිකිරීම් කටයුතු ඉක්මනින් හා ගුණාත්මකව සිදු කිරීම සඳහා, ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු බලකායේ මානව සම්පත සහ තාක්ෂණික සහය සෘජුවම ලබාගන්නා ලදී.
  • සෑම නිවසකටම තනි පුද්ගල වැසිකිළි පහසුකම්, පිරිසිදු පානීය ජල සබඳතා, විදුලි පහසුකම් සහ ප්‍රධාන මාර්ග හා සම්බන්ධ වන මාර්ග පද්ධති සකස් කර ඇත.

එළඹෙන 28 වන දින ගරු ජනාධිපතිතුමන් අතින් නව නිවාසවල සහතිකපත් සහ යතුරු භාරදීමත් සමඟ, අම්බිට්ටිකන්ද තේ කර්මාන්තශාලා කඳවුරේ ගෙවීගිය ජනතාවගේ පීඩාකාරී කාල පරිච්ඡේදය නිමාවට පත්වේ.

කබරගල නිවාස ව්‍යාපෘතිය යනු ආරම්භයක් පමණි. ශ්‍රී ලංකාව පුරා පිහිටි වතුකර ප්‍රජාවන්ට සුරක්ෂිත, ගෞරවාන්විත සහ හිමිකාර ඉඩම් සහිත නිවාස ලබාදෙමින්, හුදෙක් පේළි නිවාසවලින් හෝ අනාථ කඳවුරුවලින් ජනතාව තනි නිවසකට ගෙන යාම යන අදහසින් ඔබ්බට ගොස්, ජනතාවට නිවැරදි අරමුණක් සහ බලාපොරොත්තුවක් සහිතව නව තනි නිවසක ජීවත් වීමට අවශ්‍ය සියලු පහසුකම් ජාතික ජන බලවේග රජය විසින් සලසා දෙමින් සිටියි.

හුදෙක් නිවසක් පමණක් ලබානොදී එය පවුලකට සුදුසු නිවහනක් බවට පත්කිරීම සඳහා ගෙවතු වගා පිහිටුවීම, ජීවනෝපාය සංවර්ධනය කිරීම, ගම්මානයක් ලෙස ජීවත්වීමේදී තම යහපත් පුරුදු වර්ධනය කරගැනීම වැනි විවිධ නව සංකල්පද ලබා දීමෙන්, ඉන් අනතුරුව මෙම නිවාස ඔවුන් වෙත භාරදීමට රජය උත්සාහ කරයි.

ඒ සඳහා විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන් සහ සාකච්ඡා පවත්වමින් ඔවුන්ට නිවැරදි මගපෙන්වීම් ලබාදී මෙම නිවාස භාරදීමට නියමිතය. ජාතික ජන බලවේග රජය පිහිටුවීමෙන් පසු සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා ප්‍රතිපාදන භාවිතා කරමින් කඳුකර ජනතාව වෙනුවෙන් ලබාදෙන මෙම නිවාස ව්‍යාපෘතිය ඉතා වැදගත් වේ.

ඊටත් අමතරව මෙම ජනතාවට නව ලිපිනයක් ලබාදීම සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය කැපවීමෙන් කටයුතු කර එය සාර්ථක කරගෙන ඇත. ඒ අනුව එළඹෙන 28 වන දින සිට ඔවුන්ට නව නිවහනක්, නව ජීවිතයක් මෙන්ම නව ලිපිනයක්ද හිමිවීමට නියමිතය.

ජාතික ජන බලවේගයේ හැටන් ප්‍රකාශනයට අනුව සෑම පොරොන්දුවක්ම නිසි පරිදි ක්‍රියාත්මක කරමින් සිටීම විශේෂත්වයකි. මෙම සිහිනය සැබෑ කරගැනීම සඳහා රජයට විවිධ ආයතන සහ සුභසාධකයින් විවිධ අයුරින් අතහිත දී ඇත. ඔවුන්ගේ අභියෝගයද මෙහිදී සඳහන් කළ යුතුය. මෙම නිවාස ව්‍යාපෘතියේ ජීවත්වන සෑම පවුලකටම එම නිවස පිහිටි පර්චස් දහයක ඉඩම සඳහා වන හිමිකම් ඔප්පුව ලබාදීමට සියලු කටයුතු සුදානම් කරමින් පවතී. මෙහිදී NEVIDA ආයතනයේ අභියෝගය ඉතා වැදගත් ලෙස සැලකේ. මෙම නිවාස සඳහා ඉඩම් හිමිකම් ඔප්පු ලබාදීමට අවශ්‍ය සියලු පියවර එම ආයතනය විසින් දැනටමත් ගනිමින් පවතී. ශ්‍රී ලංකාවේ නිවාස ව්‍යාපෘති අතර නව සංධිස්ථානයක් ලෙස බණ්ඩාරවෙල කබරගල නවෝදයාපුර නිවාස ව්‍යාපෘතිය පත්වන බවට කිසිදු සැකයක් නැත. රජයේ ජාතික වැඩසටහන් අතර මෙය විශිෂ්ට පූර්වාදර්ශයක් වනු ඇත.

ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය, ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපාදනවලින් ක්‍රියාත්මක වන ව්‍යසන නිවාස ව්‍යාපෘතිය, දිට්වා නිවාස ව්‍යාපෘතිය සහ පූර්ව රජයන් විසින් ක්‍රියාත්මක කරන ලද නිවාස ව්‍යාපෘති ලෙස විවිධ නිවාස ව්‍යාපෘති “මලෛයග මහිල්ච්චි” යන තේමාව යටතේ ශ්‍රී ලංකාවේ කඳුකර ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වේ.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය ගරු සමන්ත විද්‍යාරත්න මහතා අප්‍රේල් 07 වන දින වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී, දිට්වා ව්‍යසනයෙන් පීඩාවට පත් කඳුකර ප්‍රජාවට ලබාදෙන නිවාස සහන පිළිබඳව දීර්ඝ ලෙස පැහැදිලි කළේය.

“දිට්වා” ව්‍යසනයෙන් දැඩි ලෙස පීඩාවට පත් කඳුකර වතු ප්‍රජාවට නිවාස සහන ලබාදීම සඳහා රජය විසින් නව කැබිනට් තීරණ කිහිපයක් ගෙන ඇත. ඒ අනුව, දැනට සේවයේ නියුතු වතු කම්කරුවන්, වතු සේවයෙන් විශ්‍රාම ලබා තවමත් ලයිම් කාමරවල පදිංචිව සිටින්නන් සහ වතු රැකියාවල නිරත නොවූවද පරම්පරාගතව හිමි ලයිම් කාමරවල අවම වශයෙන් වසර 5 ක් පදිංචිව සිටින පාර්ශ්වයන්ට මෙම සහන හිමිවේ.

සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවාස සඳහා රුපියල් ලක්ෂ 50 දක්වා සහන මුදලක් ලබාදෙන අතර, එය නව නිවසක් මිලදී ගැනීමට හෝ වෙනත් ඉඩමක නිවසක් ඉදිකිරීමට භාවිතා කළ හැකිය. විකල්පයක් ලෙස, රජය විසින් ඉඩම් ලබාදී වර්ග අඩි 650 ක නිවසක් ඉදිකර දීමටද මැදිහත් වී ඇත.

අර්ධ වශයෙන් හානි වූ නිවාස සඳහා උපරිමය රුපියල් ලක්ෂ 25 දක්වා වන්දි ලබාදෙන අතර, තක්සේරුවකින් තොරව වන්දි ලබා ගැනීමට කැමති පාර්ශ්වයන් සඳහා අවම වශයෙන් රුපියල් ලක්ෂ 5 ක මුදලක් ලබාදීමටද පියවර ගෙන ඇත.

මෙතෙක් කල් ලයිම් කාමර පෞද්ගලික දේපළක් ලෙස නොසැලකීම හේතුවෙන් වතු ජනතාවට අහිමි වූ මෙම සහනය, රජයේ සෘජු මැදිහත්වීම හරහා ලබාදීමට නව කැබිනට් තීරණය මගින් මගපාදා තිබීම විශේෂත්වයකි.

දිට්වා ව්‍යසනයෙන් සම්පූර්ණයෙන්ම විනාශ වූ වතු නිවාස 167 ක්, අර්ධ වශයෙන් හානි වූ නිවාස 349 ක් සහ නායයාම් අවදානම අධික වතු නිවාස 527 ක් හඳුනාගෙන ඇත. වත්මන් ජාතික ජන බලවේග රජය බලයට පත්වීමත් සමඟ, ඉතා කෙටි කාලයක් ඇතුළත පොරොන්දු වූ පරිදි කඳුකර ජනතාවට නිවාස ලබාදීමේ වැඩසටහන වේගවත් කර ඇත.

ඉන්දීය ආධාර සහ රජයේ ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වන නිවාස 1,300 ව්‍යාපෘතියේ නිවාස 548 ක ඉදිකිරීම් කටයුතු දැනට අවසන් කර ඇති අතර, ඒවා ජනතාවට භාරදීමට නියමිතය. තවත් නිවාස 335 ක ඉදිකිරීම් අවසන් අදියරේ පවතී.

එලෙසම, ඉන්දීය රජයේ නිවාස ආධාර සහ අප රටේ රජයේ ප්‍රතිපාදන යොදාගනිමින් ක්‍රියාත්මක වන නිවාස 4,000 ව්‍යාපෘතිය යටතේ, නිවස ලබාගැනීම සඳහා මූලික සුදුසුකම් සපුරා ඇති ප්‍රතිලාභීන් 2,184 දෙනෙකු වෙනුවෙන් නිවාස ව්‍යාපෘති 129 ක නිවාස 2,184 ක වැඩ කටයුතු ආරම්භ කර ඇත. මෙහි එක් කොටසක් ලෙස කබරගල නිවාස ව්‍යාපෘතිය පවතී.

නායයාම් අවදානම අධික ප්‍රදේශවල ජීවත්වන කඳුකර ප්‍රජාව ආරක්ෂා කිරීමේ අරමුණින්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වන “මලෛයග මගිල්ච්චි” ව්‍යාපෘතිය යටතේ, ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ආපදා නිවාස 397 ක සහන ආරම්භ කර ඇති අතර, ඒ සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 1,297 ක් වෙන්කර ඇත. ඉන් නිවාස 118 ක ඉදිකිරීම් කටයුතු දැනට අවසන් වී ඇත.

මීට අමතරව, ඉන්දීය නිවාස ව්‍යාපෘතිය සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 4,290 ක් වෙන්කර ඇත. ඉන්දීය නිවාස ආධාර සහ “මලෛයග මගිල්ච්චි” ව්‍යාපෘතිය යටතේ කොළඹ, කළුතර, කුරුණෑගල, කෑගල්ල, රත්නපුර, මාතලේ, මහනුවර, නුවරඑළිය, බදුල්ල, මොණරාගල, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල කඳුකර ප්‍රජාව වෙනුවෙන් මෙම නිවාස ඉදිකරමින් පවතී.

මීට අමතරව පූර්ව රජයන් විසින් ආරම්භ කර අතහැර දමා තිබූ NEW LIFE සහ GREEN GOLD නිවාස ව්‍යාපෘති සඳහා ජාතික ජන බලවේග රජය රුපියල් කෝටි 70 කට අධික මුදලක් වෙන්කර එම නිවාස ව්‍යාපෘතිද අවසන් කිරීමේ මට්ටමට ගෙනවිත් ඇත. මින් නිවාස 300 කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණ වී ඇති අතර ඉතා ඉක්මනින් ඒවා ජනතාවට භාරදීමට නියමිතය. මේවා මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වන බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.

මීට පෙර වතු ජනතාවට නිවාස ලබාදීමේදී ප්‍රතිලාභීන් තේරීමේදී පැහැදිලි සහ පාරදෘශ්‍ය යාන්ත්‍රණයක් නොතිබූ බවට චෝදනා එල්ල විය. එම තත්ත්වය වෙනස් කරමින්, වත්මන් රජය ව්‍යසනයට ලක්වූ සහ අධික ආපදා අවදානමකට ලක්ව සිටින ජනතාව හඳුනා ගැනීම සඳහා ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. ඒ අනුව ප්‍රතිලාභීන් තේරීම පාරදෘශ්‍ය ලෙස සිදු කිරීමට පියවර ගෙන ඇත.

තවද, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මගින් වතු ප්‍රදේශ සඳහා වන නව ගම්මාන අධිකාරිය වෙත 2025 වසර සඳහා රුපියල් මිලියන 42.5 ක්ද, 2026 වසර සඳහා රුපියල් මිලියන 85 ක්ද වෙන්කර ඇති අතර, එම ආයතනය බලගැන්වීමට අවශ්‍ය පියවරද ගෙන ඇත.

මේ අනුව, කඳුකර ජනතාවට ස්ථිර නිවසක සහ ඉඩමක හිමිකම තහවුරු කිරීම අරමුණු කරගනිමින් නිවාස ඉදිකිරීම, ආපදා අවදානම් සහිත ජනතාවට සුරක්ෂිත නිවාස ලබාදීම සහ ප්‍රතිලාභීන් තේරීමේදී පාරදෘශ්‍යභාවය තහවුරු කිරීම යන කරුණු එක්තැන් කළ වේගවත් වැඩසටහනක් රජය විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website