වයස අවුරුදු 18ට අඩු පුද්ගලයෙකුට හෝ වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයෙකුට මෝටර් රථයක්, යතුරු පැදියක් ත්‍රිරෝද රථයක් ලබා දෙන පුද්ගලයාව ද අත්අඩංගුවට ගන්නා බව පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ දෙමාපියන් මේ සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බවයි.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් රථවාහන හා මාර්ග ආරක්ෂණ අංශය භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර පැවසුවේ වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති පුද්ගලයෙකුට වාහනයක් ලබා දුන් ඕනෑම පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිස් ස්ථානාධිපතිවරුන්ට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවයි.
“අපි ඉතාම පැහැදිලිව කියනවා වාහනයක් පැදවීමට යෝග්‍යතාවය නැති කිසිම පුද්ගලයෙක්ට වාහනයක් දෙන්න එපා, යතුරුපැදියක්, ත්‍රිරෝද රථයක් දෙන්න එපා. යම්කිසි අවස්ථාවක මේ ආකාරයේ වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව වාහනයක් ධාවනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තොත්, ඔහු විසින් අනතුරක් සිදු කළ පසු ඔහුව අත්අඩංගුවට ගැනීමට සිදු වුණොත් කිසිම සමාවක් නැහැ අදාළ වාහනය ලබා දුන් පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනවා. මෝටර් වාහන ආඥාපනත අනුව සියලුම වැරදි සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පුළුවන්” නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේය.
















