2026 ආ.පො.ස උසස් පෙළ විභාගයේ හෙට (14) දිනයේ පැවැත්වීමට නියමිත විභාග ප්‍රශ්න පත්‍ර කට්ටලය කිසිදු අවස්ථාවක පිටවීමක් සිදුව නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය අවධාරණය කළාය.
මේ සම්බන්ධ අද (13) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය මේ බව පැවසුවාය.
ප්‍රශ්න පත්‍ර පිටවීමක් සම්බන්ධයෙන් කිසිදු අනියත බියක් ඇතිකර නොගෙන විභාගය සඳහා මුහුණදෙන ලෙස සිසු සිසුවියන්ගෙන් ඉල්ලා සිටි විභාග කොමසාරිස් ජනරාල්වරිය හෙට (14) දිනයට නියමිත ප්‍රශ්න පත්‍ර අඩංගු පැකට්ටුවක් කිසිදු අයුරකින් විවෘත කිරීමක් හෝ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයකින් බැහැරට නිකුත් කිරීමක් සිදුකර නොමැති බව යළි අවධාරණය කළාය.
ව්‍යාජ තොරතුරුවලින් කලබලයට පත්නොවී හෙට දින නියමිත පරිදි විභාගයට මුහුණ දෙන ලෙස සිසුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටි ඇය නියමිත කාලසටහන පරිදි සියලුම විභාග මධ්‍යස්ථානවල විභාගය පැවැත්වෙන බැවින්, සියලුම අපේක්ෂකයන් තමන්ට නියමිත කාලසටහන අනුව මධ්‍යස්ථානවලට පැමිණිලා විභාගය සඳහා මුහුණ දෙන ලෙස ද ඉල්ලා සිටියාය.















