දුම්රිය සේවා සංවර්ධන ව්‍යාපෘති රැසක් 2027-2029 වර්ෂයන් සඳහා ක්‍රියාත්මක කිරීමට සැලසුම්

වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් ලබා දීමේ අරමුණින්  දුම්රිය සේවා සංවර්ධන ව්‍යාපෘති රැසක් 2027-2029 වර්ෂයන් සඳහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කරමින් පවතින බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන   අමාත්‍ය  බිමල් රත්නායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසීය. 

ඒ අනුව  කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය, කැලණි පාලම නවීකරණය, දුම්රිය පාලම් 10 ක් (කොම්පඤ්ඤ වීදිය, නාරාහේන්පිට, අලුත්ගම, ඉඳුරුව, ගිංතොට, දොඩන්දූව, වැල්ලවත්ත, පිංවත්ත, හික්කඩුව, පානදුර)  ප්‍රතිස්ථාපනය කිරීම, ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහා බලවේග කට්ටල 05ක් සහ ඩීසල් විදුලි එන්ජින් 05 ක් ප්‍රසම්පාදනය කිරීම, කුරුණෑගල – පොල්ගහවෙල ද්විත්ව දුම්රිය මාර්ග ව්‍යාපෘතිය, මරදාන සිට රත්නපුර දක්වා කැළණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය, නව එන්ජින් 05 ක් සහ තදාසන්න ප්‍රවාහන කටයුතු සඳහා සැහැල්ලු දුම්රිය කට්ටල 05 මිල දී ගැනීම, දුම්රිය ස්ථාන නවීකරණ හා ප්‍රමිතිකරණ වැඩසටහන [Dream Destination (2027-2029)] සහ රත්මලාන Shops 27 and 28 ප්‍රතිසංස්කරණය කිරීම යන ව්‍යාපෘතින් ක්‍රියාත්මක වීමට නියමිත ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද  වාචික පිළිතුරු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එසේම, කොළඹ තදාසන්න දුම්රිය සේවා නවීකරණය කර මහජනයාට හිතකර සුවපහසු ආරක්ෂිත හා ලාභදායී ප්‍රවාහන සේවාවක් ලබා දීමට කටයුතු කිරීම තුළින් දුම්රිය භාවිතා කරන මගීන් සංඛ්‍යාව ඉහළ නැංවීමට කටයුතු කිරීමටද අපේක්ෂිත ය. තව ද, මහනුවර තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය සඳහා ශක්‍යතා අධ්‍යයනය මේ වන විට සිදු කරමින් පවතින අතර නව දුම්රිය එන්ජින් ධාවනයට එක් කිරීම, දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය, දුම්රිය ස්ථාන නවීකරණ හා ප්‍රමිතිකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම  සහ E-Ticket ක්‍රමවේදය තව දුරටත් වැඩිදියුණු කෙරෙමින් පවතී.

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක දුම්රිය මාර්ග කාණ්ඩ 04 කට බෙදා ඇති අතර , තනි  මාර්ගය (A) ලෙස කි.මී.1308.707 ක් ද, ද්විත්ව මාර්ගය (B) ලෙස කි.මී.282.912 ක් ද, තුන්වන මාර්ගය (C) ලෙස කි.මී.40.938 ක් ද, හතරවන මාර්ගය (D) ලෙස කි.මී.7.580 ක් ද වන සේ ඒවායේ සමස්ත මුළු දුර කි.මී.1640.137ක් ලෙස පවතී. පසුගිය වසර  05 සඳහා දුම්රිය ප්‍රවාහනයෙන් (මගී, භාණ්ඩ සහ වෙනත්) ලැබුණු වාර්ෂික ඉපැයීම් ලෙස  2021 දී රු. 2,678,724,988.46 ක්ද ,2022 දී  රු. 10,335,603,440.66 ක් ද , 2023 දී  රු. 16,079,474,195.75 ක් ද ,  2024 දී  රු. 16,468,344,008.55  ක් ද  සහ  2025 දී  රු. 17,165,992,777.48  ක් ද  පවතින බව අමාත්‍යවරයාගේ පිළිතුරෙහි වැඩිදුරටත් සඳහන් විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website