ප්රමිතියෙන් තොර හිස්වැසුම් තොගය විනාශ කිරීමට මහර අධිකරණයෙන් නියෝග
SLS ප්රමිතියෙන් තොර ආරක්ෂක හිස්වැසුම් විකිණූ සහ බෙදාහැරි වෙළෙඳසැලට හා බෙදාහරින්නාට දඩ සහ ප්රමිතියෙන් තොර හිස්වැසුම් තොගය විනාශ කිරීමට මහර අධිකරණයෙන් නියෝග කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
සිය ෆේස්බුක් පිටුවේ අද (06) දින මෙම පුවත පළ කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය මෙසේ පවසයි.
“ශ්රී ලංකා ප්රමිතීන් ආයතනයේ (SLS 517) ප්රමිතියට අනුකූල SLS සහතික ලාංඡනය නොමැති ආරක්ෂක හිස්වැසුම් විකිණීම සහ බෙදාහැරීම මඟින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ නීතිරීති සහ විධානයන් (අංක 59 දරණ විධානය) උල්ලංඝනය කළ වැලිවේරියේ වෙළෙඳසැලකට සහ මාකොළ පිහිටි බෙදාහැරීමේ ආයතනයකට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගම්පහ දිස්ත්රික් විමර්ශන නිලධාරීන් විසින් මහර මහෙස්ත්රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.
නිව් ඉඳිගහමුල ඔයිල් මාර්ට් (වැලිවේරිය): SLS සහතික ලාංඡනය නොමැති ආරක්ෂක හිස්වැසුම් 42ක් විකිණීම සඳහා ඉදිරිපත් කිරීම.
රයිඩර් හෙල්මට් (මාකොළ උතුර): අදාළ SLS ප්රමිතියෙන් තොර හිස්වැසුම් 42 වෙළෙඳසැල වෙත බෙදාහැරීම.
පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් 2026.07.28 වන දින සිදුකළ වැටලීමකදී මෙම නීති විරෝධී හිස්වැසුම් තොගය සොයාගෙන අත්අඩංගුවට ගන්නා ලදී.
මෙම නඩුව මහර මහෙස්ත්රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් දෙදෙනාම එල්ල වූ චෝදනාවලට වරද පිළිගත් අතර, එහිදී අධිකරණය විසින් විත්තිකරුවන් දෙදෙනාට රුපියල් 5,000/- බැගින් රුපියල් 10,000/- ක දඩයක් නියම කිරීමට පියවර ගන්නා ලදී. ඊට අමතරව අත්අඩංගුවට ගත් SLS ප්රමිතියෙන් තොර අදාළ ආරක්ෂක හිස්වැසුම් 42ම වහාම විනාශ කර දමන ලෙස ද මහෙස්ත්රාත් අධිකරණය නියෝග කළේය.
යතුරුපැදිකරුවන්ගේ ජීවිත බරපතල අවදානමක හෙළමින් SLS ප්රමිතියෙන් තොර ආරක්ෂක හිස්වැසුම් අලෙවි කරන හෝ බෙදාහරින වෙළෙඳුන් පිළිබඳව කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ වහාම පාරිභෝගික අධිකාරිය වෙත දැනුම් දෙන්න.














